
ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීම සනිටුහන් කරමින්, ප්රමුඛ පෙළේ ජාතික පුවත්පතක් වූ ‘මව්බිම‘ පුවත්පතේ දිනපතා සංස්කරණය මෙන්ම එහි ‘ඉරිදා මව්බිම‘ සංස්කරණය ද සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග තහවුරු කරයි.
දේශපාලන හා ආර්ථික කුණාටු මැද වරින් වර විවිධ මුහුණුවරින් පැමිණි මුද්‍රිත මාධ්‍ය කලාව, අද වන විට ආර්ථික අර්බුදය සහ මෙහෙයුම් පිරිවැය දරාගත නොහැකිව අවසාන හුස්ම හෙළමින් සිටී. එහෙත් ප්රශ්නය ඇත්තේ කඩදාසි මිලෙහි හෝ බදු බරෙහි පමණක්ද? නැත! මෙරට ජාතික පුවත්පත් කලාව පාඨකයන්ගෙන් මේ තරම් දරුණු ලෙස ප්‍රතික්ෂේප වීමේ සැබෑ ඛේදවාචකය සැඟව ඇත්තේ වෙනත් තැනකය.
පිටපත් ලක්ෂ පහේ සිට හැටදහසට වැටුණු අලෙවිය!
අතීතයේදී මෙරට ප්‍රධාන ඉරිදා පුවත්පත් පිටපත් ලක්ෂ පහකට වඩා අලෙවි වූ ස්වර්ණමය යුගයක් තිබුණි. නමුත් වර්තමානය වන විට එම අගය පිටපත් හැටදහසක් (60,000) වැනි ඉතාම පහළ මට්ටමකට ඇද වැටී ඇත.
සති අන්ත පුවත්පත් පමණක් නොව, දිනපතා පුවත්පත්වල තත්ත්වය ද මීට වඩා දරුණුය. වර්තමානයේ ලංකාවේ වැඩිම අලෙවියක් ඇතැයි කියන දිනපතා පුවත්පතක පවා මුළු අලෙවිය පිටපත් විසිදහසකටත් (20,000) වඩා අඩු මට්ටමක පවතී. මේ අතර, එකතු කළ අගය මත බදු (VAT) නොගෙවීම ඇතුළු මූල්‍ය අර්බුද හේතුවෙන් තවත් ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන කිහිපයක්ම ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වැසී යාමේ අවදානමකට මුහුණ පා සිටී.
‘දැනහැඳුනුම්කම්’ වලට පත්වූ නුපුහුණු වාර්තාකරුවන් සහ බොරුවේ ව්‍යාප්තිය
මෙම දැවැන්ත බිඳවැටීමට තිරය පිටුපස ඇති ප්‍රධානතම හේතුවක් වන්නේ, වර්තමානයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් බඳවා ගැනීමේදී සිදුවන බරපතල අක්රමිකතාවයයි. අද වන විට බොහෝ ප්‍රාදේශීය වාර්තාකරුවන් පත්වන්නේ කිසිදු වෘත්තීය සුදුසුකමකින් හෝ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ අවබෝධයකින් නොවේ. හුදෙක් කාගේ හෝ ඇති ‘දැනහැඳුනුම්කම්‘ සහ දේශපාලන හිතවත්කම් මත ඔවුහු මාධ්‍ය ක්ෂේත්රයට රිංගා ගනිති.**
කිසිදු ගවේෂණශීලී මාධ්‍ය හුරුවක්, පුහුණුවක් හෝ සමාජ වගකීමක් නැති මෙම නුපුහුණු පිරිස පුවත්පත් කලාවට පිවිසීම නිසා සිදුව ඇත්තේ මහා විනාශයකි. සැබෑ මහජන ප්‍රශ්න, දූෂණ වංචා ගවේෂණය කර සමාජගත කරනු වෙනුවට, ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ට තනතුරු ලබාදුන් හෝ ප්‍රදේශයේ සිටින බලවතුන්ගේ පදයට නැටීමටය. මෙම වෘත්තීය නොවන පසුබිම නිසාම, ඔවුන් ඉතා පහසුවෙන් මුදලට නතුවන අතර, සමාජයට සත්‍යය දායාද කරනු වෙනුවට අතදිග හැර බොරුව වැපිරීමට පෙළඹී සිටිති.
සත්‍යය වැසූ ‘ප්රශස්ති ගායනා’ සහ පාඨකයාගේ පිටුපෑම
පුවත්පත් වසා දැමීමට ආර්ථික හේතු මතුපිටින් පෙනෙන්නට තිබුණ ද, එහි යටිපෙළ දිවෙන්නේ ජනතාව මුද්‍රිත මාධ්‍ය කෙරෙහි තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමයි. අතීතයේදී ජනතාවගේ හඬ වූ, රටේ සැබෑ තත්ත්වය බියෙන් සැකෙන් තොරව හෙළි කළ ගෞරවනීය මාධ්‍යවේදියා අද මුද්‍රිත මාධ්‍ය තුළ සොයාගත නොහැක.
වර්තමාන ජාතික පුවත්පත් කලාවේ නියුතු බහුතරයක් වාර්තාකරුවන් මුදලට ගිජු වී, දේශපාලනඥයන්ගේ සහ බලවතුන්ගේ ‘ප්රශස්ති ගායකයන්‘ බවට පත්ව සිටීම මෙයට ප්‍රධානතම හේතුවයි. සත්‍යය වසන් කරමින්, ජනතාවට අමූලික බොරු වපුරන කඩදාසි පිටු මිලදී ගැනීමට බුද්ධිමත් පාඨකයා අද සූදානම් නැත. ජනතාව පුවත්පත් ප්‍රතික්ෂේප කරන්නේ මුදල් නැති නිසාම නොව, එම පුවත්පත් තුළ ‘සත්‍යය’ සහ ‘විශ්වාසනීයත්වය’ නොමැති නිසාය.
මුදලට යටපත් වූ මාධ්‍යවේදියා සහ ‘හිඟාකන’ තත්ත්වය
අතීතයේදී ගෞරවනීය හා බලවත් වෘත්තියක් ලෙස පැවති ‘මාධ්‍යවේදියා’ යන නාමය, අද වන විට මුදලටම යටපත් වී අවසන්ය. තමන්ගේ පෑන, තමන්ගේ හෘද සාක්ෂිය සුළු මුදලකට හෝ වරප්‍රසාදයකට පාවා දෙන තත්ත්වයට ඇතැම් මාධ්‍යවේදීන් ඇද වැටී ඇත. රටේ සිදුවන මහා පරිමාණ දූෂණ, වංචා සහ මහජන පීඩාවන් වෙනුවට, මුදල් දෙන බලවතුන්ගේ කලු පදාස පිට සුදු හුණු ගෑම සිදුකරමින් මාධ්‍ය කලාවක් යැයි මවා පෙන්වීම තුළ, මේ ඊනියා මාධ්‍යවේදියා අද පත්ව ඇත්තේ සමාජය ඉදිරියේ ‘හිඟාකන’ තත්ත්වයකටය. වෘත්තීය ගරුත්වය කෙළෙසා ගනිමින්, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට බියවන මෙවැනි මාධ්‍ය කලාවක අවසානය පුවත්පත් ආයතන වැසී යාමෙන් කෙළවර වීම පුදුමයට කරුණක් නොවේ.
‘මව්බිම’ වැසී යාම සහ අනෙකුත් පුවත්පත් මුහුණ දෙන අර්බුදය, ලංකාවේ සමස්ත මාධ්‍ය ක්ෂේත්රයටම දෙන බරපතල අනතුරු ඇඟවීමකි. මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් නැවත වරක් මුදලින් සහ හිතවත්කම්වලින් මිදී, සත්‍යය සහ ජනතාව වෙනුවෙන් පෑන මෙහෙයවීමට සූදානම් නොවන්නේ නම්, මෙරට මුද්‍රිත මාධ්‍ය කලාවේ අවමංගල්‍යය වැඩි ඈතක නොවන බව ස්ථිරය!




Be the first to comment