
ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස හැරී බැලීමේදී, රට සංවර්ධනය කරමින් ජනතාවත් උපරිමයෙන් සතුටු කරමින් පාලනය කළ “රන්වන් යුගයක්” ජනතාවට කිසිදා හමුවී නැත. අද පාලක පක්ෂයේ වැරදි දකින විපක්ෂය සහ එහි නායකයින් එදා තමන් බලයේ සිටි සමයන්හි මීටත් වඩා බරපතළ වැරදි සිදුකර ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානයේ ඇතැම් නව පක්ෂ “අපි පරණ වැරදි කර නැති අලුත් අය” යැයි පැවසුවද, එම පක්ෂවල පෙරමුණේ සිටින්නේද පැරණි පක්ෂ කඩාබිඳ දමා තනතුරු ලෝභයෙන් පැමිණි දේශපාලකයන්මය.
මෙම ජාතික තලයේ දේශපාලන ස්වභාවය එසේම පවතිද්දී, පුරෝගාමියාගේ සුවිශේෂී අවධානය යොමුවන්නේ සමස්ත ලංකාවටම වඩා තමන්ට සමීප සහ වැදගත් වන මොරටුව මහා නගර සභාවේ වත්මන් දේශපාලන හැසිරීම දෙසටය. මොරටුවේ වත්මන් පාලක මාලිමාවේ අසාර්ථකත්වය මෙන්ම, ඊට සමාන්තරව මොරටුවට වින කරන “දියාරු විපක්ෂයේ” සැබෑ ව මෙසේ තර්කානුකූලව පෙළ ගැස්විය යුතුය .
- ශක්තිමත්ම විපක්ෂයක “නිද්රාශීලී” භූමිකාව
මොරටුව මහා නගර සභාව තුළ විවිධ පක්ෂ නියෝජනය කරන පොදු විපක්ෂයට මන්ත්රී ධුර 26 ක ප්රබල නියෝජනයක් පවතී. සංඛ්යාත්මකව ගත්කල මෙය ලංකාවේ මහා නගර සභාවක දැකිය හැකි ප්රබලම සහ විශාලම විපක්ෂයකි. මෙම පිරිස අතර අත්දැකීම් බහුල දේශපාලනඥයින්, විවිධ ක්ෂේත්රවල වෘත්තිකයින් මෙන්ම දක්ෂ ව්යාපාරිකයෝද සිටිති.
නමුත් ඛේදවාචකය නම්, මෙතරම් ශක්තිමත් ඥාන පද්ධතියක් සහ බලයක් සහිත විපක්ෂයක් සතුව පැවතියද, ඔවුන්ගේ ක්රියාකාරීත්වය මසකට වරක් පැවැත්වෙන මහා සභා රැස්වීමට පමණක් සීමා වීමයි. සභා ගර්භය තුළ වැරදිවලට විසඳුම් ඉල්ලා කෑකෝ ගැසුවද, ඉන් එහා ගිය කිසිදු පලදායී හෝ ප්රායෝගික ක්රියාමාර්ගයක් ගැනීමට මෙම විපක්ෂයට වුවමනාවක් ඇත්තේ නැත.
- මාලිමාවේ එදිනෙදා වගකීම සහ විපක්ෂයේ අතීත පාඩම
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ මාලිමාව එදා 3% ක් වැනි සුළු ඡන්ද පදනමක සිට මෙරට පාලන බලය ලබාගැනීම දක්වා පැමිණි ගමනේදී, ඔවුන් විපක්ෂයේ සිටිමින් ඉටුකළ සටන්කාමී සහ ක්රියාකාරී භූමිකාව වර්තමාන මොරටුව විපක්ෂයෙන් දකින්නට ඇත්තේ නැත.
මාලිමා පාලනය බලයට පත්වන විට මොරටුවේ ජනතාව බලාපොරොත්තු වූ හෝ පාලකයන් කෙස් කඩමින් සපථ කළ කරුණුවලින් අල්පයක් හෝ ඉටු වී නැත. ඒ පිළිබඳව මොරටුව ජනතාවගෙන් චෝදනා සහ මැසිවිලි කප්පරක් නැගෙමින් පවතී. එහෙත්, පාලකයන්ගේ මෙම අසාර්ථකත්වයට මාලිමාව තරමටම වත්මන් විපක්ෂයද වගකිව යුතුමය. විපක්ෂයක සැබෑ කාර්යභාරය පාලකයන්ගේ වැරදි පෙන්වා දීම පමණක් නොව, ජනතාව වෙනුවෙන් වීදි බැස ඒවා නිවැරදි කිරීමට බල කිරීම වුවද, එය එසේ සිදු කිරීම ඔවුන්ගේ කාර්යභාරයට අයත් විය යුතු නමුත් මොරටුව විපක්ෂය අද මුළුමනින්ම එවැනි ක්රියාශීලිත්වයකට නොගොසින් අඩපණ වී ඇත.
කෙටියෙන්ම මහා නගර සභා රැස්වීම් වර තුලදී පවා විපක්ෂයේ එක් අයෙකු කරනා චෝදනාවක් විපක්ෂයේම අයකු විසින් එය එසේ නොවනා ලෙසින් බිඳ දමනා ලෙසින් එහිදීම ප්රකාශ කිරීමෙන්ම අද මොරටුව විපක්ෂය පොදු නොවනා වෙනත් අරමුණක ගමන් කරනා බව පැහැදිලි කරනු ලබයි .
- “පොදු” යන නාමයෙන් වැසුණු පෞද්ගලික න්යාය පත්ර
මොරටුව පොදු විපක්ෂය තුළ කිසිදු “පොදු බවක්” හෝ ඒකායන අරමුණක් දකින්නට ඇත්තේ නැත. බාහිර සමාජයට ඔවුන් පොදු විපක්ෂයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කළද, ඇතුළාන්තයෙන් ඔවුන් ක්රියාත්මක වන්නේ තම තමන්ගේ පක්ෂ මූලික කරගත් සහ පෞද්ගලික දේශපාලන න්යාය පත්ර මත පිහිටමිනි.
මොරටුව විපක්ෂ නායකවරයාට පවා මෙම වැරැද්ද නිවැරදි කිරීමට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. ඊට හේතුව සාමාජිකයින් එකම කේන්ද්රයකට එකතු කිරීමට ඇති අපහසුතාවයි. ඔවුන් මොරටුවේ පොදු ජනතාවගේ ප්රශ්න හෝ ජාතික තලයේ ගැටලු ගැන සිතා පොදු ස්ථාවරයකට පැමිණෙනවා වෙනුවට, පටු පක්ෂ දේශපාලන සීමාවන් තුළ හා පෞද්ගලිකත්වය තුල කොටු වී සිටිති.
- පැලවත්තට එදිරිව පිටස්තර නියෝග පාලනය
වත්මන් පාලක පක්ෂය පැලවත්තෙන් (පක්ෂ මූලස්ථානයෙන්) හා කාඩර් වරුන් වෙතින් පාලනය වන බවට විපක්ෂය නිතර චෝදනා කරයි. එහෙත් සැබෑව නම්, විපක්ෂයේ සිටින අනෙකුත් සියලුම කණ්ඩායම්ද පාලනය වන්නේ මොරටුවේ ජනතාවගේ වුවමනා එපාකම් අනුව නොව, කොළඹ සිටින ඔවුන්ගේ පක්ෂ නායකත්වයන්ගේ නියෝග සහ උපදෙස් මතම බවය.
ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නගර සභාව තුළ, මොරටුවේ සැබෑ බිම් මට්ටමේ ප්රශ්නවලට වඩා ඉහළින් අණදෙන පක්ෂ දේශපාලනය රජයන තාක් එනිසාම මෙම විපක්ෂයෙන් ජනතාවට සහනයක් බලාපොරොත්තු විය නොහැක.
- අභ්යන්තර ඝට්ටන සහ සංවිධායක තනතුරු සටන
මාලිමා ආණ්ඩු පක්ෂය බලයේ ස්ථාවරත්වය නිසා අභ්යන්තර බෙදීම් රහිතව කටයුතු කරනවා සේ පෙනෙද්දී, පොදු විපක්ෂය ඇතුළතින් කුණුවෙමින් පවතී. විපක්ෂයේ විවිධ නියෝජිතයින් අතර එකිනෙකාට එරෙහිව පවතින පෞද්ගලික කෝන්තර සහ වෛරී හැසිරීම් බහුලය.
විශේෂයෙන්ම මේ දිනවල ඇතැම් ප්රධාන පක්ෂවල “මොරටුව සංවිධායක” තනතුරු ලබාගැනීම වෙනුවෙන් පවතින බල අරගලය ඉතා උග්රය. එකම පක්ෂයේ සාමාජිකයින් වුවද, එකිනෙකා නැති තැන්වලදී සිදුකරගන්නා වක්ර ප්රහාර සහ මඩ ගැසීම් තුළින් විපක්ෂයේ පවතින බිඳවැටීම සහ අස්ථාවරත්වය මහජනතාවට ද ඉතා හොඳින් ගම්ය වේ.
නිගමනය: පීඩනයේ වගකීම දෙපාර්ශවයටම හිමිය
ආණ්ඩු පක්ෂයේ වැරදි සහ අඩුපාඩු දිනෙන් දින ඉහළ යද්දීත්, විපක්ෂය මොරටුවේ ජනතාව වෙනුවෙන් එකම පොදු අරමුණක නොපිහිටීමේ සෘජු වාසිය හිමිවන්නේ පාලක පක්ෂයටය. විපක්ෂයේ මෙම දියාරු ප්රතිපත්තිය නිසා තමන් කරන සියලු වැරදි සාධාරණීකරණය කිරීමට මාලිමාවට අවස්ථාව ලැබී ඇත.
එබැවින්, අද මොරටුවේ සමස්ත ජනතාව අත්විඳින පීඩාවන්ට, අර්බුදයන්ට සහ සංවර්ධනය අඩාල වීමට වගකිව යුත්තේ පාලක මාලිමාව පමණක් නොවේ. “පොදු” යන ලේබලයට මුවා වී තම පටු අරමුණු ඉටුකරගන්නා, ක්රියාකාරීත්වයෙන් තොර දියාරු විපක්ෂයද මොරටුවට වින කරන ප්රධානතම සාධකයක් බව පුරෝගාමියා සපථ කර කියා සිටින්නේ ඒ නිසාමය
පුරෝගාමියා

Be the first to comment