කතුවැකිය : මොරටුවේ පොදු ජන බදු මුදල් විනාශ කරන දූෂිතයන්ට එරෙහිව “පුරෝගාමියා” කිසිවිටෙකත් නිහඬ නොවේ ! “පුරෝගාමියා” ට වත්මන් දේශපාලනයේ පක්ෂ විපක්ෂ ඊනියා හංවඩුව ගැසීම ?

මොරටුව කේන්ද්‍ර කරගනිමින්, නිවැරදි, ස්වාධීන සහ අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක නිරත වන “පුරෝගාමියා” වෙබ් පුවත්පත සැමවිටම පෙනී සිටින්නේ සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙනි.

නමුත් මෑතකාලීනව අප වෙබ් අඩවිය හරහා සමාජගත වන පුවත් සහ අනාවරණයන් දෙස බලා, ඇතැම් පාර්ශව අපව “විපක්ෂයේ දේශපාලන මෙවලමක්” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන බව අපට පෙනී ගොස් ඇත. මේ පිළිබඳව අපගේ පාඨක ජනතාවට මෙන්ම සමස්ත සමාජයටම සැබෑ තත්ත්වය පැහැදිලි කිරීම අපගේ වගකීමකි.

පාලකයන්ගේ නිහඬතාවය සහ වගකීම් විරහිත ප්‍රතිපත්තිය

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාව මුහුණ දෙන ප්‍රශ්න, පීඩාවන් සහ පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් පිළිබඳව වැඩි වශයෙන් ප්‍රශ්න කරන්නේ සහ හඬ නගන්නේ විපක්ෂයයි. “පුරෝගාමියා“ ලෙස අප එම ජනතා ප්‍රශ්න සහ විපක්ෂයේ සාධාරණ විවේචන රට හමුවේ තබන විට, පාලක පක්ෂය ඊට පිළිතුරු දීමෙන් මඟහැර සිටීම අද සාමාන්‍ය සිරිතක් වී තිබේ. “හැම එකටම පිළිතුරු දීලා අපිට වැඩක් නැහැ” වැනි බොළඳ ප්‍රකාශ කරමින් ආණ්ඩු පක්ෂය ලිස්සා යන්නේ ඔවුන්ට එම චෝදනාවලට දීමට නියමිත පිළිතුරු නොමැති නිසා විය හැකි බවද “පුරෝගාමියා“ ට  ඉවත දැමිය නොහැකි කරුණකි .

එසේම විපක්ෂයේ ඇතමෙක්ද පාලක පක්ෂයේ කිසියම් වටිනාකමක් ප්‍රසිද්ධ කල විට ඒ පිළීබඳවද ප්‍රසිද්ධියේ නොවනා චෝදනාවන් පුරෝ ගාමියා වෙත එල්ල කරනා බව අප දැන සිටින්නෙමු

නමුදු මේ ලේබල් අනුව නොව මොරටුව ජනතාවට වැදත් දේ පමණක්ම මොරටුව ජනතාව මුල් කොට එම ජනතාව පමණක්ම අදහනා පුරෝගාමියාට ඉතා වැදගත් වන්නේය .

වෙනස් නොවුණු ඒකාධිපති ස්වරූපය

කළින් සිටි පාලකයන් විවේචනය කරමින් බලයට පැමිණි වත්මන් බලධාරීන් ද, අද වන විට පෙරටත් වඩා දරුණු ලෙස ජනතාව පීඩාවට පත් කරමින්, නොකළ යුතු බොහෝ දේ ඒකාධිපති ස්වරූපයෙන් සිදු කරමින් සිටින අයුරු “පුරෝගාමියා“ ට රහසක් නොවේ. පාලකයන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා අවසානයේ බැටකන්නේ සහ පීඩාවට පත්වන්නේ දේශපාලන පක්ෂ නොව, මෙරට මෙපුර අහිංසක පොදු ජනතාවයි.

මොරටුවේ මහජන බදු මුදල් විනාශයට එරෙහි අපේ ස්ථාවරය

විශේෂයෙන්ම මොරටුව නගරය තුළ සිදුවන විවිධ ව්‍යාපෘති සහ පාලන කටයුතු දෙස බැලීමේදී, මහජනතාවගේ මහන්සි බදු මුදල් අතිවිශාල ලෙස විනාශ වන අයුරු අපට නිරන්තරයෙන් දැකගත හැකිය. එවැනි දූෂණ වංචා, අක්‍රමිකතා සහ බලධාරීන්ගේ අලසකම් පිළිබඳව අප කිසිවිටෙකත් ඇස් කන් පියාගෙන, නිහඬව සිටින්නේ නැත. ජනතාවගේ මුදල් සොරකම් කරන සහ නාස්ති කරන ඕනෑම පාර්ශවයකට එරෙහිව නිර්භීතව හඬ නැගීම අපගේ මූලිකම ප්‍රතිපත්තියකි.

දේශපාලන භේදයකින් තොරව පොදු ජන හඬට ඉඩදීමේ වගකීම

එමෙන්ම, අප කිසිවිටෙකත් කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී වන්නේ නැත. කුමන දේශපාලන පක්ෂයක, කුමන තරාතිරමක හෝ නිලයක සිටින අයකු වුවද, මොරටුවේ ජනතාවට වැදගත් වන, පොදු යහපතට හේතු වන සැබෑ සහ වටිනා ප්‍රකාශයක් හෝ අදහසක් ඉදිරිපත් කරන්නේ නම්, එය කොන්දේසි විරහිතව ජනතාව අතරට රැගෙන යාම “පුරෝගාමියා“ සතු පරම යුතුකම සහ වගකීමක් ලෙස අප සලකන්නෙමු. අපගේ වේදිකාව සැමවිටම විවෘත වන්නේ සාධාරණත්වය සහ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සැමටය.

අවසාන නිගමනය: අපේ එකම පාර්ශවය මෙරට මොරටු  ජනතාවයි

“පුරෝගාමියා“ විපක්ෂයේ පුවත්පතක් ලෙස වැරදියට ඇතමුන් අර්ථකථනය කිරීමට උත්සාහ කරන්නේ මේ නිසාය. අප එවැනි වලකිවයුතු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ විපක්ෂයේ උනන්දුවට නොව, පීඩාවට පත් ජනතාවගේ වේදනාව අපට දැනෙනා බැවිනි. පාලකයන් පිළිතුරු නොදී ලිස්සා ගියද, ජනතාව වෙනුවෙන් ප්‍රශ්න කිරීම අප කිසිසේත් නතර කරන්නේ ද නැත.

අපට වැදගත් වන්නේ බල ලෝභී, ලාභ සහ බාල දේශපාලන පක්ෂ හෝ කල්ලි කණ්ඩායම් නොවේ. “පුරෝගාමියා” ට සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ පොළොවේ ජීවත්වන සැබෑ මිනිසුන් සහ ඔවුන්ගේ අයිතිවාසිකම්ය. අප ගැති වන්නේ කිසිදු දේශපාලන වර්ණයකට නොව, පොදු ජනතාවටමය. පාලකයන් කවුරුන් වුවද, ඔවුන් ජනතාව පීඩාවට පත් කරමින් පොදු දේපළ නාස්ති කරන්නේ නම්, ඊට එරෙහිව ජනතාවගේ සැබෑ හඬ බවට පත්වීමට “පුරෝගාමියා” සැමවිටම පෙරමුණ ගන්නා බව අප සහතික වන්නෙමු !

“පුරෝගාමියා”

Be the first to comment

Leave a Reply