ඝාතනය වූවන් නැවත නැවතත් මරා නොදමනු ! — මාලිමා + ජවිපෙ වත්මන් අනුගාමිකයන් තුච්ච නින්දිත ලෙස දිවිදුන් සුජාතයින් නැවත ඝාතනය කිරීමේ අවනඩුව ?

ජාතික ජන බලවේගය (මාලිමාව) බලයට පත්වී වසර දෙකක් පසුවී ඇති මොහොතේ, තමන් බලයට පත්කළ ජනතාවටත් වඩා බරපතල ලෙස කම්පනයට හා කලකිරීමට පත්ව සිටින්නේ අතීතයේදී මෙම ව්‍යාපාරය වෙනුවෙන් දිවි පිදූ මිනිසුන්ගේ ලෙයින්, කඳුලෙන් ඉතිහාසය ලියැවුණු පාක්ෂිකයන් සහ සාධාරණත්වය අගයන පොදු ජනතාවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන් ඇතුළු 60,000කට අධික තරුණ තරුණියන් කුරිරු ලෙස වධදී ඝාතනය කළ අඳුරු යුගයක මතකයන් තවමත් අප අතර පවතී. බටලන්ද වධකාගාරය ඇතුළු රට පුරා ක්‍රියාත්මක වූ “මස්කඩ” පිළිබඳ සාක්ෂි, වාර්තා සහ සියලු තොරතුරු මැනවින් දැන දැනත්, අද බලයේ සිටින වත්මන් ජවිපෙ සහ මාලිමා නායකත්වය ඒ වෙනුවෙන් එකදු නීතිමය පියවරක් හෝ මෙතෙක් නොගනිමින්  “මීක්” නොකියා මුනිවත රකින අයුරු සැබවින්ම පිළිකුල් සහගතය.

නමුත් ඊටත් වඩා තුච්ඡ සහ අලජ්ජ සහගත ක්‍රියාව වන්නේ, නායකයන් මෙසේ බලතල හමුවේ අතීතය පාවාදී මුනිවත රකිද්දී, වත්මන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයන් “මරණය බව දැන දැනත් ස්ටේජ් නැගලා කතා කරපු අය ඉන්න බය නැති පක්ෂයක්” යැයි කියමින් පෝස්ටර් හදමින් අතීත පරිත්‍යාගයන් තම මඩගොහොරු දේශපාලන මාර්කටින් සඳහා යොදාගැනීමයි !

අද අප පැහැදිලිවම ප්‍රශ්න කරන්නේ මෙන්න මේ අමානුෂිකත්වයයි:

  1. බලයේ වසර දෙකක් තිස්සේ සාපරාධී නිහඬතාවය ඇයි?

ඝාතකයන් කවුද, අණදුන්නවුන් කවුද, වධකාගාර පවත්වාගෙන ගියවුන් කවුද යන්නට ඕනෑ තරම් සාක්ෂි තිබියදීත්, බලයට පැමිණ වසර දෙකක් යනතුරු ඒ වෙනුවෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට හෝ චෝදනා ලැබූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමුන්ට කොඳුනාරටියක් නැති වූයේ මන්ද? බලයේ නීතිමය බලතල අතේ තබාගෙන අතීතයේ ඝාතනය වූ 60,000ගේ ආත්මයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට නොකර සිටීම පාවාදීමක් නොවේද?

  1. මැරුණු මිනිසුන්ගේ ලේ නාමයෙන් කරන මේ අලජ්ජ මාර්කටින් එක වහා නතර කරනු!

එදා තුවක්කු බටයට, වධකාගාරවලට සහ මරණයට බිය නොවී ස්ටේජ් නැඟුණේ අද සිටින නායකයන්ගේ හෝ අද ෆේස්බුක් එකේ පෝස්ටර් හදන අයට සැප විඳින්නට නොවේ. ඒ අහිංසක මිනිසුන් එදා දිවි පිදුවේ යුක්තිගරුක සමාජයක් වෙනුවෙනි. එසේ තිබියදී, උන්ගේ ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, උන්ගේ මතකය පමණක් තමන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා පෝස්ටර්වලට සීමා කිරීම මනුස්සකමේ නාමයෙන් අනුමත කළ හැක්කක්ද ?

  1. නැවත නැවතත් ඒ 60,000 ඝාතනය නොකරනු!

එදා 88/89 යුගයේදී ඒ අහිංසකයින් ශාරීරිකව ඝාතනය කරනු ලැබීය. නමුත් අද, ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු නීතිමය යුක්තිය ඉටු නොකරමින්, ඔවුන්ගේ පරිත්‍යාගයන් තමන්ගේ පක්ෂයේ ප්‍රචාරණ මෙවලමක් ලෙස පාවිච්චි කරමින් අද කරන්නේ උන්ගේ ආත්මයන් සහ ගෞරවය නැවත නැවතත් අමු අමුවේ ඝාතනය කිරීමයි! මෙය හුදු දේශපාලන බලපෑම්වලට වඩා එහා ගිය, කිසිදු මනුස්සකමක් නැති තුච්ඡ ක්‍රියාවකි.

බලතල නැතිව සිටි කාලයේ හඬනැගූ නායකයිනි, අද බලය අතේ තිබියදීත් ඝාතකයන් සුරකිමින් මුනිවත රකින්නේ මන්ද? පාක්ෂිකයිනි, ඒ මතකයන් විකුණන් කමින් දේශපාලන මුක්කු සදහා පෝස්ටර් ගැසීම වහා නතර කරනු !

යුක්තිය ඉටු කිරීමට නොහැකි නම්, අවම වශයෙන් ඒ මියගිය අහිංසකයන්ගේ ගෞරවයටවත් හානි නොකර, තමුන්ගේ අලජ්ජ දේශපාලන වාසි සඳහා උන්ව නැවත නැවතත් මරා නොදමන ලෙස අප එනිසාම මෙසේ දැඩි ලෙස අවධාරණය කර සිටින්නෙමු !

( එක් ශාක්ෂියක් මෙසේය …. මෙය බොහෝ කලකට පෙර ප්‍රසිද්ධ කල වීඩියෝවකි … මෙහි මෙම පුද්ගලයාම ඔහු ජවිපෙ අයකු මරා ගිනි තැබූ බව පවසයි …. මෙවැනි බොහෝ දේ ඇති බව විශ්වාස නමුත් මෙතෙක් බලය ලෙලන වුවද නීතිමය ලෙසින් කිසිවක් නොකල බව සැබෑවකි …. මෙම වීඩියෝව නැරඹීය හැක්කේ යූටියබය මගින් පමණක් වන සේ ඔවුන් අගුලු දමා ඇති  බැවින් WATCH ON YOUTUBE යන්න ක්ලික් කර එහි ගොස් නරඹන්න   )

 

Be the first to comment

Leave a Reply