සම්මන්ත්‍රණයකට යනවැයි කියා නිවසින් පිටව ගිය සාමාන්‍ය පෙළ සිසුවාගේ මළසිරුර මොරටු වෙරළෙන් හමුවෙයි : මියුරුට සිදුවූයේ කුමක්ද ?

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු සම්මන්ත්‍රණයකට සහභාගී වන බව පවසා නිවසින් පිටව යාමෙන් පසු අතුරුදන්වීමේ සිද්ධිය, ඔහුගේ මළසිරුර වෙරළට ගොඩගැසීමත් සමඟ අවසන් වී තිබේ. කෙසේ වෙතත්, මෙම මරණය වටා තවමත් විසඳා නැති බරපතළ ප්‍රශ්නාර්ථයන් රැසක් ඉතිරිව පවතී.
හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ මියුරු නිම්සර නැමැති මෙම සිසුවාගේ මළ සිරුර මොරටුව මාදංගාවත්ත වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, ඔහු ඉකුත් 25 වනදා සිය නිවසින් පිටව ගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාග සම්මන්ත්‍රණයකට සහභාගී වන බව පවසමිනි. නිවසින් පිටව ගිය සිසුවා යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වෙත අතුරුදන් වීමේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
සිසුවා සොයා පරීක්ෂණ පවත්වන අතරතුර, මොරටුව මාදංගාවත්ත වෙරළ තීරයේ තිබී මෙම මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත. අනතුරුව ඔවුන් 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ඒ බව දැනුම් දීමෙන් පසු මොරටුව මූලස්ථාන පොලිසිය විසින් සිරුර සොයාගෙන ඇති අතර එය මියුරු නිම්සරගේ බවට පසුව හඳුනාගෙන තිබේ.
හොරණ ප්‍රදේශයේ සම්මන්ත්‍රණයකට ගිය සිසුවා කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි මොරටුව වෙරළ තීරයෙන් හමුවූයේ කෙසේද ?
මෙය දියේ ගිලීමකින් සිදු වූ අනතුරක්ද, නැතහොත් මරණයට පිටුපසින් වෙනත් කිසිදු අභිරහස් හේතුවක් පවතින්නේද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා මොරටුව මූලස්ථාන පොලිසිය විසින් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Be the first to comment

Leave a Reply