පුරෝගාමීන්ගේ නගරය වන මොරටුවට අනන්‍ය වූ නිල ධජය සහ තේමා ගීතය අප දන්නවාද ?

ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා සංස්කෘතික අනන්‍යතාවෙන් පිරිපුන් මොරටුව නගරය හැඳින්වෙන්නේ “පුරෝගාමිත්වයේ නගරය” ලෙසිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මාතලේ කැරැල්ලේදී සටන් වැදුණු, මොරටුවේ උපන් වීරාන් පුරන් අප්පු (ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු) වැනි ජාතික වීරයන්ගේ ඉතිහාසය මෙන්ම, කලා, සාහිත්‍ය, වඩු කර්මාන්ත සහ ධීවර ක්ෂේත්‍රයන්ගෙන් රටට දායක වූ විශිෂ්ටයන් රැසකගේ උරුමය මෙම නගරය සතුය.

මොරටු මහා නගර සභා තේමා ගීතයේ බිහිවීම

මොරටුව නගරයටම ආවේණික වූ නිල ධජයක් සහ තේමා ගීතයක් පවතියි. එවක නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ පාලන සමය තුළ, නගර සභා මන්ත්‍රීවරුන් වූ සජිත් දුමින්ද පීරිස් සහ චන්ද්‍ර ගාමිණී පීරිස් යන මහත්වරුන්ගේ සංකල්පයක් මත මෙම තේමා ගීතය නිර්මාණය කිරීමේ කටයුතු එවක මහා සභවේ යෝජනා කොට ආරම්භ වූ බවද පැවසේ .

මෙහි ගී පද රචනය ප්‍රවීණ ගී පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා විසින් සිදු කර ඇති අතර, තනු නිර්මාණය හා සංගීතය ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතාගේය. ගීතයේ ගැයුම මොරටුව මහා නගර සභා ගායක කණ්ඩායම විසින් ඉදිරිපත් කර ඇත.

අද දින පවතින තත්ත්වය සහ අපේ වගකීම

එදවස මොරටුව මහා නගර සභාවේ දිනපතා වැඩ අවසන් වන සැදෑ වරුවේ මෙම ගීතය වාදනය කිරීම සිරිතක් වූවත්, වර්තමානය වන විට එය කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න ගැටළුවකි. කෙසේ වෙතත්, නගර සභාවේ නිල උත්සව අවස්ථාවන්හිදී මෙම තේමා ගීතය තවදුරටත් වාදනය කෙරෙන අතර ඒ වෙනුවෙන් වීඩියෝ පටයක්ද නිර්මාණය කර ඇත.

නමුත් කණගාටුවට කරුණ වන්නේ, අද වන විට මොරටුවේ බොහෝ පුරවැසියන්ට, විශේෂයෙන්ම අපේ දරුවන්ට මොරටුවට ආවේණික නිල ධජය කුමක්ද හෝ නිල ගීතය කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීමයි.

පුරෝගාමියාගේ යෝජනාව

මොරටුව නගරයේ අභිමානවත් ඉතිහාසය, ධජය සහ තේමා ගීතය පිළිබඳ නිසි දැනුමක් හා අධ්‍යාපනයක් අපේ ළමා පරපුරට ලබා දීමට මොරටුව පුරා ඇති පාසල් හරහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මොරටුව මහා නගර සභාව මූලිකත්වය ගත යුතුය යන්න පුරෝගාමියා වෙබ් අඩවියේ අදහසයි. අපේ උරුමය අනාගතයට රැගෙන යාම අප සැමගේ වගකීමකි.

මොරටුව මහා නගර සභා තේමා ගීතය

ගංගාවයි උදෑ තෙරේ – සාගරයයි සැඳෑ තෙරේ
දෙතෙරේ අතරේ ස්වර්ණ පලස ධරණී……….
පබසර මහා නගරේ………
මොරටුව පුරවරය යි………………….

උස් මිටිකම් නැති හිත මිතුරණෝ
පුර සහ යයි ජන සේවකයාණෝ………

පන්සල පල්ලිය කෝවිල ඉඳුරා
සොඳුරු පරිසරේ සුවඳින් පුරවා……….
දෑ කුල ආගම් භේද දුරරදා
සාමය රජයයි මනුදම් වපුරා…………

විස්කම් වරදායක වඩු පරපුර
සමුදුරු රළ බඳු ධීවර පිරිවර……….
විදුබිම රණබිම කෙළිබිම එකසර
සරසවි සෙවණ ද නංවයි ජය බෙර……

සිත්තම කැටයම නර්තන ගී සර
සාහිත මූර්ති සිනමා කරළිය……….
ඉසිවර පඬිවර ලලිත කලාබර
පුන් සඳ පායා දිලෙයි මොරටු පුර………

උස් මිටිකම් නැති හිත මිතුරණෝ
පුර සහයයි ජන සේවකයාණෝ………

ගංගාවයි උදෑ තෙරේ – සාගරයයි සැඳෑ තෙරේ
දෙතෙරේ අතරේ ස්වර්ණ පලස ධරණී……….
පබසර මහා නගරේ………
මොරටුව පුරවරය යි………………….

ගී පද රචනය : සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා
ගී තනු නිර්මාණය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතා
ගායනය : මොරටුව මහා නගර සභා ගායක කණ්ඩායම

නිෂ්පාදනය: මොරටුව මහා නගර සභාව ( 2015 )

ගායනය:

    • දයානන්ද පෙරේරා
    • ගාමිණී ජයලාල් පෙරේරා
    • සමන්ත පද්මසිරි පීරිස්
    • සමන් පියරත්න
    • හෂානි ගයන්ති ප්‍රනාන්දු
    • සුරන්ෂි ප්‍රනාන්දු
    • කේ. වී. ඒ. පුෂ්පලතා
    • ඩබ්ලිව්. රංජනි ප්‍රනාන්දු

ශබ්ද පටිගත කිරීම: මහි ස්ටුඩියෝ (Mahi Studio), මොරටුව

 

Be the first to comment

Leave a Reply