නිදහසේ ජීවත්වීමේ අයිතිය පක්ෂ වහල් දේශපාලනයට බිලිදීම: “කඳුළු ගෑස්, ජල ප්‍රහාර නැතිවීම” මර්දනයේ අවසානය නොවේ ! හෙංචයියන්ගේ අවධානයට !

“කඳුළු ගෑස් නැත, ජල ප්‍රහාර නැත, එබැවින් අරගල අවසන් වී රට පාරාදීසයක් වී ඇතැයි” සමාජ මාධ්‍ය ජාලාවල පාරම්බාන පක්ෂ වහලුන් අද වන විට බහුලව දැකිය හැකිය.

දෘශ්‍යමාන, භෞතික ප්‍රහාරයන් නොමැති පමණින්ම රටක ජනතාව නිදහස් යැයි සිතීම තරම් තවත් මුග්ධ අදහසක් නොමැත. මන්දයත්, සැබෑ මර්දනය බොහෝ විට පැමිණෙන්නේ පොලිස් මුගුරෙන් හෝ කඳුළු ගෑස් උණ්ඩයෙන් නොව, පුද්ගලයෙකුට නිදහසේ ජීවත්වීමට, සිතීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය සූක්ෂ්ම ලෙස සිරකරන අණපනත් සහ මර්දනකාරී නීතිමය රාමු හරහා වන බැවිනි. භෞතිකව මහපාරේ පහර නොදුන්නද, නීතියේ නාමයෙන් පුරවැසියා දණ ගැස්වීම සඳහා වත්මන් දේශපාලන සන්දර්භය තුළ සූක්ෂ්ම මර්දන අණපනත් ක්‍රියාත්මක වෙමින් පවතී.

“භෞතික ප්‍රහාරයන්ට වඩා භයානක වන්නේ අණපනත් මඟින් ජනතාවගේ හඬ සහ නිදහස නීත්‍යානුකූලවම අකර්මණ්‍ය කිරීමයි.”

මේ අතරින් ප්‍රධානතම ආයුධයක් වන්නේ “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතයි” (Online Safety Act). ඩිජිටල් අවකාශය තුළ පුරවැසියා සතු භාෂණයේ නිදහස සහ රජය විවේචනය කිරීමේ අයිතිය සීමා කිරීමට මෙමඟින් පුළුල් ප්‍රතිපාදන සලසා ඇත. ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය මුවාවෙන්, පාලකයන්ට අවාසිදායක ප්‍රකාශ “අසත්‍ය” ලෙස ලේබල් කර ඒවා අන්තර්ජාලයෙන් ඉවත් කිරීමටත්, අදහස් දක්වන පුරවැසියන් සිරගත කිරීමට හෝ දඩ ගැසීමටත් මෙමඟින් අසීමිත බලයක් සහිත කොමිෂන් සභා පිහිටුවා ඇත. මීට අමතරව, පැරණි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට අලුත් මුහුණුවරකින් ගෙන ආ “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (PSTB) හරහා ආරක්ෂක ලේකම්වරයාට පමණක් පුද්ගලයෙකු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට සෘජු බලය පැවරේ. එහි ඇති නොපැහැදිලි අර්ථකථන හේතුවෙන්, ආණ්ඩුව විවේචනය කරන මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය දූෂණ හෙළිදරව් කරන ක්‍රියාකාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පවා “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසා සිරගත කිරීමට ඉඩකඩ විවෘත වේ.

“ජාතික ආරක්ෂාවට හෝ මහජන සාමයට තර්ජනයක් විය හැකි, නැතහොත් විවිධ පන්ති අතර අමනාපය ඇති කළ හැකි අදහස් පළ කරන්නන් සිරගත කිරීමට මෙම පනත් මඟින් ප්‍රතිපාදන සලසා ඇත.”

 දේශපාලන පක්ෂයක අන්ධ භක්තිකයන් හෙවත් “හෙංචයියන්” බවට පත්වන වහලුන්ට අමතක වී ඇති මූලිකම සත්‍යය නම්, පාලකයන් කවුරුන් වුවද බලයට පත්වූ පසු ඔවුන් තම බලය රැකගැනීම සඳහා මෙවැනි නීති රීති අවභාවිත කිරීමට පෙළඹෙන බවයි. තමන් කඩේ යන පක්ෂය බලයේ සිටින විට සිදුවන ඕනෑම මර්දනයක් “රටේ සාමය” ලෙස ලේබල් කිරීමටත්, තමන් විපක්ෂයේ සිටින විට සිදුවන දේ “ඒකාධිපතිත්වය” ලෙස හැඳින්වීමටත් පෙළඹෙන මේ ද්විත්ව ප්‍රතිපත්තිය දැඩි සේ හෙළා දැකිය යුතුය. මර්දනය යනු මර්දනයක්ම පමණි. එය රතු, නිල්, කොළ හෝ මාලිමා පාටින් හැඩගැන්වූ පමණින් එහි බියකරු බව හෝ අසාධාරණ බව වෙනස් නොවේ.

“තමන් කඩේ යන පක්ෂය බලයේ සිටින විට සිදුවන ඕනෑම මර්දනයක් ‘රටේ සාමය‘ ලෙස ලේබල් කිරීමට පෙළඹෙන පක්ෂ වහල්භාවය දැඩි සේ හෙළා දැකිය යුතුය.”

සැබෑ පුරවැසියෙකු යනු පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වහලෙකු නොව, තමන්ගේ සහ රටේ අනාගත පරපුරේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නෙකි. පාලකයන් කවුරුන් වුවද, ඔවුන් ජනතාවගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමට සැරසෙන්නේ නම්, ඊට එරෙහිව හඬ නැඟීම වහල් මානසිකත්වයෙන් මිදුණු සැබෑ මිනිසුන්ගේ වගකීමකි. දෘශ්‍යමාන ප්‍රහාර නැති වූ පමණින් නිහඬ නොවී, නීතියේ නාමයෙන් සිදුවන සූක්ෂ්ම මර්දනයන්ට සහ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සිහිකල්පනාවෙන් සහ සබුද්ධිකව කටයුතු කිරීම අද දවසේ අත්‍යවශ්‍යම කාර්යයයි.

“දෘශ්‍යමාන ප්‍රහාර නැති වූ පමණින් නිහඬ නොවී, නීතියේ නාමයෙන් සිදුවන සූක්ෂ්ම මර්දනයන්ට එරෙහිව සබුද්ධිකව කටයුතු කිරීම අද දවසේ අත්‍යවශ්‍යම කාර්යයයි.”

Be the first to comment

Leave a Reply