
ජීව විද්යාත්මකව මෙලොව උපදින සෑම මිනිසෙකුටම අනන්ය වූ, කිසිවෙකුට වෙනස් කළ නොහැකි ජානමය කේතයක් හිමිය. විද්යාත්මකව Deoxyribonucleic Acid හෙවත් ඩීඑන්ඒ (DNA) ලෙස හැඳින්වෙන මෙම අණුව, පුද්ගලයෙකුගේ ශාරීරික ස්වභාවය, හැසිරීම් රටාව සහ මූලික අනන්යතාවය තීරණය කරන ප්රධාන සාධකයයි. එසේම සෛල තුළ පණිවිඩ හුවමාරු කරමින්, ප්රවේණික තොරතුරු ක්රියාත්මක කරමින් ජීවයේ පැවැත්ම තහවුරු කරන්නේ Ribonucleic Acid හෙවත් ආර්එන්ඒ (RNA) මඟිනි.
නමුදු වත්මන් ශ්රී ලාංකීය දේශපාලන සංස්කෘතිය දෙස බලන විට පෙනී යන්නේ, බහුතරයක් මිනිසුන්ට තමන් උපතින් රැගෙන ආ ජීව විද්යාත්මක ඩීඑන්ඒ වලටත් වඩා තදින්, තමන් අනුගමනය කරන දේශපාලන පක්ෂපාතීත්වය ලේ, මස්, නහර සහ සෛල තුළ කිඳා බැස ඇති බවයි. මෙය හුදෙක් සාමාන්ය දේශපාලන අනුගාමිකත්වයක් හෝ කැමැත්තක් නොවේ. එය මිනිසා සතු නිදහස් බුද්ධිය සම්පූර්ණයෙන්ම වහල්භාවයට පත් කළ, අතිශය මජර සහ අන්තරායකර මානසික වසංගතයකි.
පක්ෂ කණ්ණාඩියෙන් ලෝකය දැකීම සහ විකෘති අර්ථකථන
මෙම දේශපාලන වහල්භාවයේ දරුණුතම ලක්ෂණය වන්නේ රටට, සමාජයට හෝ මුළු මහත් මානව සංහතියටම බලපාන ඕනෑම වැදගත් සිදුවීමක් දෙස ස්වාධීනව, විචාරශීලීව හෝ මානුෂීයව බැලීමට ඇති නොහැකියාවයි.
- ජාතික හෝ ආගමික කරුණු: රටේ පොදු සංවර්ධනය හෝ සංස්කෘතික අනන්යතාවය වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ දෙස බලන්නේද පක්ෂ දේශපාලන වාසි-අවාසි දෙස පමණක් බලාගෙනය.
- දේශපාලනිකමය තීරණ: රටට අහිතකර ප්රතිපත්තියක් වුවද තමන්ගේ පක්ෂයෙන් කරන්නේ නම් එය “රට පෙරට තැබීමක්” ලෙසත්, රටට හිතකර ප්රතිපත්තියක් වුවද එය විරුද්ධ පක්ෂයෙන් කරන්නේ නම් “රට පාවාදීමක්” ලෙසත් අර්ථකථනය කෙරේ.
- මානුෂීය හෝ අමානුෂීය සිදුවීම්: ඝාතනයක්, වංචාවක් හෝ අසාධාරණයක් සිදු වූ විට, වින්දිතයා හෝ වැරදිකරු තමන්ගේ පක්ෂයේද නැද්ද යන්න මත ඔවුන් තුළ ඇති වන මානුෂීය හැඟීම තීරණය වේ. තමන්ගේ පාර්ශ්වයේ අයෙකු අතින් සිදු වූ බරපතළ වැරැද්දක් පවා සිනාසෙමින් සාධාරණීකරණය කිරීමට තරම් මොවුන්ගේ හෘද සාක්ෂිය මියගොස් ඇත.
මේ කුමන කරුණක් වුවද, මෙම පුද්ගලයින් සමාජගත කරන්නේ තමන්ගේ දේශපාලන ස්වාමිවරුන්ගේ න්යාය පත්රයට ගැළපෙන පරිදි සකස් කළ ව්යාජ, උපක්රමශීලී සහ විකෘති කළ මතවාදයන් පමණි. සත්යය කුමක්ද යන්න ඔවුන්ට කිසිසේත්ම අදාළ නැත.
බුද්ධිමය සිරකරුවන් බිහිකරන මාධ්ය සහ සමාජ පරිසරය
අද වන විට මෙම තත්ත්වය උග්ර කිරීමට සමාජ මාධ්ය සහ ඇතැම් ජනමාධ්ය ප්රබල මෙවලමක් වී ඇත. තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා වඩාත් පළල් ලෙස සිතිය යුතු වුවත්, සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තයි. දේශපාලන පක්ෂ විසින් නඩත්තු කරනු ලබන ව්යාජ ගිණුම් (Fake Profiles) සහ මතවාද කන්ඩායම් (Cyber Troops) විසින් දවස පුරා මුදාහරිනු ලබන ද්වේෂසහගත සහ ඒකපාර්ශ්වීය තොරතුරු, මෙම මිනිසුන්ගේ මොළය සෝදා හැරීමට (Brainwashing) ලක් කරයි.
මෙහි ප්රතිඵලයක් ලෙස, සමාජයේ බහුතරයක් දෙනා තමන් ස්වයංක්රීයවම දේශපාලන න්යාය පත්රයන්හි සිරකරුවන් බවට පත්ව ඇති බව වටහා ගැනීමට පවා අපොහොසත් වී සිටිති. ඔවුන් තර්ක කරන්නේ රට වෙනුවෙන් නොව, තමන් වන්දනාමාන කරන නායකයාගේ නිරුවත වසා ගැනීමටය.
දේශපාලන වහල්භාවයෙන් එහා ගිය මජර තැනක්
අතීතයේ අප “දේශපාලන වහල්භාවය” ලෙස හැඳින්වූයේ යම් පක්ෂයකට ඇති ලැදියාව නිසා අන්ධ ලෙස ඡන්දය දීම පමණි. නමුත් වර්තමානයේ මෙම තත්ත්වය ඊටත් වඩා අන්ත, අශිෂ්ට තැනකට තල්ලු වී තිබේ.
අද වන විට එය රටේ පොදු සදාචාරය, සාධාරණත්වය සහ අවංකභාවය මුලිනුපුටා දමන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. සමාජයේ බුද්ධිමතුන්, වෘත්තිකයින් මෙන්ම සාමාන්ය ජනතාවද මෙම වසංගතයට ගොදුරු වී සිටීම කණගාටුදායකය. තමන්ගේ පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම ජාතික අපරාධයක් දෙස දෑස් පියාගෙන සිටීමටත්, රටේ අනාගතය අඳුරට ඇද දැමීමටත් මොවුහු පසුබට නොවෙති.
සත්යය විනාශ කිරීම සහ සමාජයීය පරිහානියේ අගාධය
මෙම පක්ෂග්රාහී හදවත් සහ මොළ තුළින් නිරන්තරයෙන්ම සිදු කෙරෙන්නේ සමාජයේ පොදු සත්යය, යුක්තිය සහ සාධාරණත්වය අමු අමුවේ ඝාතනය කර දැමීමයි. සමාජ මාධ්ය ජාලා සහ විවිධ කථිකාවන් හරහා ඔවුන් වපුරන මෙම විෂ සහිත මතවාදයන් නිසා සමස්ත සමාජයම බුද්ධිමය වශයෙන් අංශභාග තත්ත්වයට පත්වෙමින් තිබේ.
රටක් වශයෙන් ඉදිරියට යාමට නම් පොදු එකඟතාවන් සහ සාමූහික ජාතික ප්රතිපත්ති අවශ්ය වේ. නමුත් මෙම දේශපාලන වහලුන් නිසා කිසිදු යහපත් මතවාදයකට සමාජය තුළ ස්ථාවර වීමට ඉඩක් නොලැබේ. මිනිසෙකු සතු විය යුතු උතුම්ම සහ අගනාම ගුණාංගය වන “ස්වාධීන චින්තනය” (Independent Thinking) දේශපාලන පක්ෂයක නාමයෙන්, නොමිලේම පාවා දීම තරම් නින්දිත ඛේදවාචකයක් තවත් නැත.
ගැලවීමේ මාවත: සිතීමේ ක්රමය වෙනස් කිරීම
ජීව විද්යාත්මක Deoxyribonucleic Acid (DNA) කේතය අපට පහසුවෙන් වෙනස් කළ නොහැක. නමුත්, බාහිරින් අපගේ මනසට ඇතුළු කර ඇති, පණිවිඩ හුවමාරු කරමින් අපව මෙහෙයවන මෙම දේශපාලන Ribonucleic Acid (RNA) රටාව අපට වෙනස් කළ හැකිය; වෙනස් කළ යුතුය.
රටක් ලෙස අපට අලුත් ගමනක් යා හැක්කේ, ඕනෑම කරුණක් දෙස පක්ෂ කණ්ණාඩිය ගලවා දමා, රටට සහ පොදු සමාජයට ඇති වාසි-අවාසි දෙස මධ්යස්ථව බැලීමට පුරුදු වූ දිනටය. නායකයින් වැරදි කරන විට පක්ෂ බේදයකින් තොරව එය වැරදියි කීමටත්, නිවැරදි දේ අගය කිරීමටත් සමත් නිදහස් මතධාරී පුරවැසියන් පිරිසක් බිහිවන තුරු, මේ දේශය සදාකාලික අඳුරු අගාධයක සිරවී පවතිනු ඇත. වහල්භාවයෙන් මිදී, නිදහස් මිනිසුන් ලෙස සිතීමට දැන්වත් හුස්ම ගත යුතුය.
– පුරෝගාමියා –




Be the first to comment