නගරාධිපති කොමසාරිස්ට ලියුම් ගැසුවත් මොරටුව මහ නගර සභාවේ ‘නිලධාරීවාදය’ තවමත් රජ කරයි: මන්ත්‍රීවරුන්ගේ යෝජනා කුණු කූඩයටද?

මොරටුව මහා නගර සභාවේ ජනතා නියෝජිතයන් වන මන්ත්‍රීවරුන් විසින් මහ සභා වාරවලදී සම්මත කරගන්නා පොදු ජන වගකීම් සහ සංවර්ධන යෝජනා වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවී අතහැර දමා ඇත්තේ කාගේ උවමනාවටද? එයට සෘජුවම වගකිවයුතු බොහෝ නිලධාරීන්ගේ වගකීම් විරහිත, අලස සහ උදාසීන ක්‍රියාකලාපය දැන් සමස්ත මොරටුව නගරයේම ඉදිරි ගමන අඩාල කරමින් තිබේ.
සභා වාර්තා (හැන්සාඩ්) මගින් පැහැදිලිවම අනාවරණය වන පරිදි, ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම කෙතරම් නින්දිත මට්ටමකට වැටී ඇත්ද යත්, නගර සභා කමිටු රැස්වීම් සඳහා ඔවුන්ගේ සහභාගිත්වය “අපිට හිතුණොත් එනවා, නැත්නම් නෑ” යන තත්ත්වයට පත්ව ඇත. ජනතා බදු මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය පිළිබඳව පසුගිය සභා වාරයකදී මහා නගර සභා මන්ත්‍රී ඩබ්. සුරේෂ් ප්‍රේමකුමාර මහතා දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.
ඵලදායිතා හා මුදල් උත්පාදන කමිටුව වැනි වැදගත් කමිටු, නිලධාරීන්ගේ උනන්දුවක් නොමැතිකම නිසා “විහිළුවකට දාපු කමිටු” බවට පත්ව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. වසරක් සම්පූර්ණ වී ඇති ලී කුඩු ගැටලුවට අදාළ ප්‍රොජෙක්ට් රිපෝට් පවා නිලධාරීන්ගේ ලාච්චු අස්සේ හිරවී පවතින්නේ මේ නිද්‍රාශීලී ප්‍රතිපත්තිය නිසාය.
මෙම නිලධාරීවාදයේ අලසකම සහ වගකීම් විරහිතභාවය කොතරම් දරුණුද යත්, නගරාධිපති කේ.ඩී. නිශාන්ත ප්‍රනාන්දු මහතා පවා සභාවේදී පිළිගෙන ඇත්තේ ඇතැම් කමිටු නිලධාරීන්ගේ නොසැලකිලිමත් භාවයට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය වෙනස් කරන ලෙස සහ නිලධාරීන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය වහාම දුරු කරන ලෙස නගරාධිපතිවරයා විසින් කොමසාරිස්තුමිය වෙත ලිපියක් පවා නිකුත් කර තිබේ.
නමුත් ප්‍රශ්නය වන්නේ, නගරාධිපතිවරයා කොමසාරිස්ට ලියුම් ගැසුවද, තවමත් මේ සාපරාධී නිලධාරීවාදය අවසන් වී නැත්තේ මන්ද? යන්නයි.
මන්ත්‍රීවරුන් පැමිණ නිලධාරීන් සහභාගි වනතුරු බලන් සිටින, එහෙත් නිලධාරීන් මුළුමනින්ම සභාව සහ ජනතා අවශ්‍යතා පැහැර හරින මෙවැනි වටපිටාවක මොරටුවේ ජනතාවට ඉන් සිදුවන්නේ බරපතල අසාධාරණයකි. මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා පවසන පරිදි, අපට ලැබෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන නොගෙන මොරටුවට කරන මේ මහා අපරාධය තවදුරටත් ඉවසා සිටිය නොහැක.
ලියකියවිලි පුරවාගෙන, ප්‍රශ්න මගහරිමින්, කමිටු රැස්වීම් මඟහරිමින් සිටින නිලධාරී මඩුල්ලට නගරාධිපතිවරයාගේ සහ කොමසාරිස්වරියගේ නියෝග පවා ‘තඹ දොයිතුවකට’ මායිම් නොවන තත්ත්වයක් උදාවී තිබේද? නිලධාරීන්ගේ මේ අලසකම බිඳ දමා, මොරටුව නගරයට සහ එහි වැසියන්ට සිදුවන මේ සාපරාධී නිලධාරීවාදී බාධාව වහාම අවසන් කරන්නේ කවදාදැයි සමස්ත මොරටු වැසියෝ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති!

Be the first to comment

Leave a Reply