මොරටුවේ හැමටම අවමානයක් වූ වැසිකිලි ගන්ධයෙන් හා කැළි කසළින් පිරි පුරෝගාමිත්වයේ නගරයේ ප්‍රධාන බස් නැවතුම ? ගරු නගරාධිපතිතුමණි, මේ ඔබේ අවධානයටයි !

මොරටුව මහා නගර සභාවට අයත් මොරටුවේ නගර මධ්‍යයේ ප්‍රධානතම ස්ථානය වනුයේ මෙම මොරටුව ප්‍රධාන බස් නැවතුමයි. පුරෝගාමිත්වයේ නගරයේ මූලස්ථානය ලෙසින් දුම්රිය ස්ථානයත්, ප්‍රධාන බස් නැවතුමත් පිහිටා තිබීම නිසා දිනපතා මෙහි යන්න එන්නෝ රාශියකි.

මොරටුව මහා නගර සභාව මගින් මෙම ස්ථානය දිනපතා පිරිසිදු කිරීම සිදු කරනු ලැබුවත්, සැබවින්ම මේ වන විට මෙම බස් නැවතුම කුණු කසළ බැහැර කරන කසළ අංගනයක් හා මළමූත්‍රා බැහැර කරන වැසිකිළියක් බවට පත්ව තිබේ. මෙහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ බස් රථ රියදුරන් පවසන්නේ, මෙහි ඇති අධික දුර්ගන්ධයට හේතුව , මීට පෙර මෙම කොට්ඨාශයේ මන්ත්‍රීවරයෙක් වූ ඔසඳ අබේකෝන් මහතා මහා සබා රැස්වීම් වාරයකදී පැවසූ පරිදිම, ඇතැම් බස් රථ සේවකයින් විසින් මෙසේ බෝතල්වලට මුත්‍රා කොට ඒවා මෙම ප්‍රදේශයට විසි කිරීම නිසා මෙසේ දුර්ගන්ධය පැරතිරෙනා ස්ථානයක් බවට පත්ව ඇති බවයි.

සැබවින්ම මොරටුවේ නගර මධ්‍යය පිරිසිදුව තබා ගැනීමට මොරටුව මහා නගර සභාව දැඩි උනන්දුවකින් කටයුතු කරන්නේ වුවද, මෙහි වගකීම් දැරිය යුතු ඇතැම් බස් රථ සේවකයෝ මේ පිළිබඳව මොරටුව මහා නගර සභාවටත් වඩා දැඩි ලෙසින් තම සේවා ස්ථානය වූ මෙම ප්‍රධාන බස් නැවතුම පිරිසිදු භාවයෙන් පවත්වාගෙන යා යුතු වෙති. එහෙත්, ඔවුන්ගෙන් ඒ පිළිබඳව කිසිදු හැඟීමක් නැති බව එහි සේවය කරන්නෝම සුලුතරයක් පවසති.

එසේම මෙම බස් නැවතුම ආසන්නයේ පවත්වාගෙන යනු ලබන ඇතැම් වෙළඳසැල් විසින්ද ඔවුන්ගේ කටයුතු සඳහා කිසිදු සීමාවක් නොමැතිව මෙම මාර්ගය භාවිතා කරනු ලබන අතර, එයින්ද සිදුවන්නේ එම කටයුතුවල කැළි කසළද මෙම ප්‍රධාන බස් නැවතුමට එකතු වී මෙය ජරාජීර්ණ වීමය.

මොරටුව මහා නගර සභාවේ සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ දැඩි අවධානයට මෙම සිදුවීම් සියල්ල යොමු විය යුතු අතර, මෙම බස් නැවතුමේ වැසි දිනවලදී ප්‍රධාන වහලයෙන් වැසි දිය ගලා වැටී එම ජලය පවා මෙම ස්ථීර ගොඩනැගිල්ල තුළ රැඳීමෙන් මෙහි වෙළඳ කටයුතු පවත්වාගෙන යන්නෝද, මගී ජනතාවද මහත් අසීරුතාවයට පත්වන බව ඔවුන් පවසයි.

එසේම මෙම ප්‍රධාන බස් නැවතුමෙහි පිරිසිදු බව රැක ගැනීමට මෙහි සේවය ලබා ගන්නා ජනතාවගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවද මෙහිදී කළ විමසුම් තුළින් පුරෝගාමියාට මනාව පැහැදිලි විය. එයට ප්‍රධාන හේතුව ලෙස මෙහි මගීන් පවසන්නේ, මෙහි කිසිදු තැනක කසළ දැමීමට කසළ භාජන තබා නොමැති වීම නිසා ජනතාව තමන්ට සිතූ සිතූ තැන්හි මෙසේ කසළ විසි කර දමා මෙය අපවිත්‍ර කරන බවයි.

කෙසේ වුවද මෙම ප්‍රධාන බස් නැවතුමෙහි ප්‍රසිද්ධ වැසිකිළිය පමණක් යම් පිරිසිදු බවකින් යුතුව පවත්වාගෙන යනු ලබන අතර, මෙම ප්‍රධාන බස් නැවතුමෙහි ගොඩනැගිලි හා එයට අයත් භූමිය වැසිකිළියකටත් අන්ත ලෙසින් දුර්ගන්ධය හමමින් කැළි කසළ වලින් පිරී තිබීම සැබවින්ම “මොරටුව යනු පුරෝගාමිත්වයේ නගරය” යන උදෘතයට පවා අවමානයක් වන කරුණක් බව මෙසේ පෙන්වා දෙනු ලබන්නේය.

මේ නිසාම පුරෝගාමියා මෙසේ මොරටුව මහා නගර සභාවේ නගරාධිපති කේ. ඩී. නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ අවධානය මේ පිළිබඳව කඩිනමින් යොමුවී, මෙම තත්ත්වයන් දුරු කිරීමට ඔහු විසින් පියවර ගනු ලබනු ඇතැයි සිතන්නේය.

ගරු නගරාධිපතිතුමණි, මේ ඔබේ අවධානයටයි !

— පුරෝගාමියා

Be the first to comment

Leave a Reply