
මාස 4ක නගරාධිපති ගේ මගහැරීම, ළදරුවකු සේ සමාජ ජාල හා “යූටියුබ් තර්කය” තුල මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය !
ගරු නගරාධිපතිතුමනි,
මොරටුව මහා නගර සභාවේ මාසික සභා රැස්වීම් වාර්තා කරමින්, මොරටුව ජනතාවට තම නගර සභාවේ තීන්දු තීරණ, අයවැය ලේඛන සහ සංවර්ධන යෝජනා පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමේ අරමුණින් “පුරෝගාමියා” (purogamiya.com) විද්යුත් පුවත්පත විසින් මීට මාස 4කට පෙර ඔබට ලිඛිතව බාරදුන් ඉල්ලීමට මෙතෙක් ලිඛිත පිළිතුරක් හෝ ලබා නොදීමට ඔබ කටයුතු කර ඇත. ( ඉන් පසුව විමසා යොමුකල ඊමේල් වලටද වූ දෙයක් ඇත්තේ නැත )
අඩුම තරමේ අතින් බාරදුන් ලිපියට “අවසර දෙමි” හෝ “නොදෙමි” යි කියන්නට තරම්වත් වගවීමක් නැති ඔබ, සභාවෙන් පිටතදී වාචිකව පවසන්නේ ඉතා අඳ බාල මෙන්ම ළදරු තර්කයකි. එනම්, “මේ වැනි වෙබ් අඩවියකට අවසර දුන්නොත්, ඉන් පසුව එන සියලුම යූටියුබ් (YouTube) චැනල සහ ෆේස්බුක් (Facebook) පිටුවලටද අවසර ඉල්ලූ විට දීමට සිදුවන බවයි.”
21 වන සියවසේ ඩිජිටල් තාක්ෂණය හමුවේ, ඔබවැනි මහජන නියෝජිතයෙකු සහ නගරයක ප්රධානියෙකු ලෙස ඩිජිටල් ජනමාධ්ය අවකාශය (Digital Media) පිළිබඳ ඔබ තුළ ඇති මේ ළදරු මානසික නොදැනුවත්කම සහ අනවබෝධය යථාර්ථයේදී “පුරෝගාමියා” අපට තනි ඇහැට ඇඬෙන කරුණකි !
ගරු නගරාධිපතිතුමනි, පහත ප්රශ්න සහ තර්ක දෙස මදක් විවෘත මනසින් බලන්න:
- වෙබ් අඩවියක් (Web News) සහ සමාජ මාධ්ය පිටුවක් (Social Media Page) යනු දෙකකි!
යූටියුබ් හෝ ෆේස්බුක් යනු ඕනෑම අයෙකුට තමන්ගේ ජංගම දුරකථනයෙන් පහසුවෙන් සාදාගත හැකි පෞද්ගලික සමාජ ජාල ගිණුම්ය. නමුත් ‘පුරෝගාමියා’ යනු ස්වාධීන මාධ්ය භාවිතයක යෙදෙන, පැහැදිලි සංස්කාරක මණ්ඩලයක්, වගවීමක් සහ තමන්ගේම ඩොමේන් නාමයක් (Domain Name) සහිතව පවත්වාගෙන යනු ලබන විද්යුත් පුවත්පතකි (Digital Newspaper). සාමාන්ය සමාජ මාධ්ය පිටුවක් සහ වෘත්තීය විද්යුත් පුවත්පතක් අතර වෙනස වටහා ගැනීමට පුරෝගාමිත්වයේ නගරය යැමි හදුන්වන මොරටුව මහා නගර සභාවේ නගරාධිපිතිවරයා වන ඔබතුමාට නොහැකි වීම අතිශයම කණගාටුදායකය.
- “හැමෝටම දෙන්න වෙනවා” කියන එක පදනම් විරහිතයි — මාධ්ය අවසර හිමිවිය යුත්තේ සමාජ ජාල වලට නොව පුවත් වෙබ් අඩවිවලට පමණි!
ඔබ පවසන පරිදි නගර සභාවට පැමිණ මාධ්ය ආවරණය කිරීමට අවසර ඉල්ලුවත්, අවසර දිය හැක්කේ ඕනෑම යූටියුබ් හෝ ෆේස්බුක් පිටුවකට නොව, රටේ සැබෑ ලෙසම ක්රියාත්මක වන ජනමාධ්ය ලක්ෂණ සහිත විද්යුත් පුවත්පත් වෙබ් අඩවිවලට පමණි.
ඔබ සිතන්නේ වෙබ් අඩවි යනු මුද්රිත පුවත්පත් සහ රූපවාහිනී නාලිකා සතු ඒවා පමණක් කියා නම්, එය ඔබේ දැවැන්ත නොදැනුවත්කමයි. මුද්රිත පුවත්පත් හෝ ටීවී නාලිකා නොවන, නමුත් වෙබ් අවකාශයේ ස්වාධීනව ක්රියාත්මක වන ප්රධාන සිංහල පුවත් අඩවි කීපයක් ලංකාවේ පවතී.
ලංකාවේ දැනට ක්රියාකාරී එවැනි පුවත් වෙබ් අඩවි ලැයිස්තුව:
- Lanka e News (lankaenews.com)
- Lanka News Web (lankanewsweb.net)
- Sri Lanka Mirror (srilankamirror.com)
- Lanka Truth (lankatruth.com)
- Colombo Telegraph (colombotelegraph.com)
- Vikalpa (vikalpa.org)
- Gossip Lanka News (gossiplankanews.com)
- Gagana (gagana.lk)
- Mawrata News (sinhala.mawratanews.lk)
- Bbc Sinhala (bbc.com/sinhala)
- Purogamiya (purogamiya.com – මොරටුව මුල් කරගත් ප්රධානතම ඩිජිටල් පුවත් අඩවිය)
මේවා කිසිවක් සාමාන්ය ෆේස්බුක්/යූටියුබ් පිටු නොව, අන්තර්ජාලය පදනම් කරගත් ස්වාධීන ජනමාධ්යයන්ය.
තවද, ඉහත සඳහන් අනෙකුත් සියලුම පුවත් වෙබ් අඩවි ක්රියාත්මක වන්නේ ජාතික මට්ටමෙන් (National level) මිස නාගරික/ප්රාදේශීය මට්ටමෙන් නොවේ. එම නිසා ඒ කිසිදු ජාතික වෙබ් අඩවියක් මොරටුව මහා නගර සභාවේ මාසික රැස්වීම් වාර්තා කිරීමට අවසර ඉල්ලා පැමිණෙන්නේ නැත! ප්රාදේශීය වශයෙන් මොරටුව මුල් කරගනිමින් පුවත් වාර්තාකරණයේ යෙදෙන එකම විද්යුත් පුවත්පත ‘පුරෝගාමියා’ පමණක් වන බැවින්, “හැමෝටම දෙන්න වෙනවා” කියන ඔබේ බිය සම්පූර්ණයෙන්ම අතාර්කික සහ පදනම් විරහිත එකකි.
- මහජන නියෝජිතයන් 06 දෙනෙකුගේ ඉල්ලීම පවා තනි තීරණයෙන් යටපත් කිරීම:
පසුගිය මාස 04 පුරා මොරටුව මහා නගර සභාවේ මාසික සභාව තුළදී විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්රීවරුන් 06 දෙනෙකුම කරුණු දක්වමින් “පුරෝගාමියා” වෙබ් අඩවියට සභා වාර වාර්තා කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියද, ඔබ අත්තනෝමතික ලෙස එකී තර්කානුකූල ඉල්ලීම් සියල්ල ගණන් නොගෙන සිටින්නේ කුමන පදනමකින්ද යන්න සැබවින්ම මහත් විමතියක් වන්නේ ඔබ බොහෝ වසර ගණනක් මොරටුවේ මෙවැනි දේ පිලිබඳව යුක්තිය සාධාරණත්වය ඉල්ලා මොර දුන් අයකුම වන නිසාවෙනි ?
- ව්යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම:
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මගින් තහවුරු කර ඇති “භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස” මෙන්ම “තොරතුරු දැනගැනීමේ අයිතිය” තනි පුද්ගල කැමැත්ත මත අහෝසි කිරීමට හෝ සඟවා තැබීමට නගරාධිපතිවරයාට කිසිදු නීතිමය හිමිකමක් නැත . යන්න මෙසේ ඔබතුමාට අවසන් වශයෙන් මෙසේ දන්වා සිටින්නේ මේ ඔබ අහිමි කරන්නේ ජනතා අයිතිවාසිකමක් වන නිසාවෙනි .
පුරෝගාමියාගේ අවසන් දැනුම්දීම:
නගරාධිපතිතුමනි, මෙම මාසයෙන් පසුව Moratuwa News Web “පුරෝගාමියා” ආයතනය ලෙස අප ඔබෙන් නැවත කිසිදු ඉල්ලීමක් හෝ මතක් කිරීමක් මේ පිළිබඳව සිදු කරන්නේ නැත .
බීරි අලින්ට වීණා වැයීම යන පිරුළ අපට සිහියට නැගේ !
අපේ අවසාන තීරනය මෙසේ වෙයි …..
අප ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත යන්නේ ඔබ සමග ඇති පෞද්ගලික වෛරයක් හෝ කෝන්තරයක් පිරිමැසීමට නොවන බවද ඉතා පැහැදිලිව මෙසේ ගෞරවයෙන් ප්රකාශ කරමු.
මොරටුව මහා නගර සභාව යනු නගරාධිපතිවරයාගේ පෞද්ගලික බූදලයක් නොව, මොරටුවේ බදු ගෙවන ජනතාවගේ ආයතනයකි. එහි සිදුවන තීන්දු තීරණ දැනගැනීමට මොරටුව වාසීන්ට ඇති ව්යවස්ථාපිත අයිතිය සුරැකීමටත්, ජනතාව වෙනුවෙන් එම මූලික අයිතිවාසිකම් දිනාගැනීමටත් අපට මෙම පළමු නීතිමය මාර්ගයට බැසීමට සිදුව ඇත.
එනිසාම …..
මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්ය නිදහසට බිය නොවී, විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසත් පුරෝගාමියාට මොරටුව මහා නගර සභාවෙ මාසික රැස්වීම් වාර්ථා කරණයට අවසර දෙන ලෙසත් අවසන් වරටත් මෙසේ පැහැදිලි කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි !
සංස්කාරක මණ්ඩලය වෙනුවෙන් ,
කර්තෘ – ජගත් පනාගොඩගේ
“පුරෝගාමියා” විද්යුත් පුවත්පත (purogamiya.com)




Be the first to comment