දේශපාලන උගුලක හිරවූ සේ මහා ගරු සඟරුවන: රැඩිකල්වීමට ගොස් එය විකාරයක් මුසාවක් කිරීමෙන් රත්නය කලු ගලක් නොකල යුතුමය !


බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් මෙදා සජීවී ව දකිනා සංඝ රත්නය දහමට අනුව කෙබඳු විය යුතුද යන්න අප පළමුව සරළව පැහැදිලි කරගත යුතුය.
දහමට අනුව සැබෑ සංඝ රත්නය යනු උපශාන්ත, ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් දුරස් වූ, පොදු ජනයාට ධර්මයෙන් හා විනයෙන් මඟ පෙන්වන නිහතමානී උතුමන් කොටසකි. නමුදු වත්මනෙහි රටට, ජාතියට මෙන්ම බුදු දහමට වන අනතුරු හමුවේ සංඝයා අතීතයේ මෙන් පෙරමුණ ගැනීම ඉතාම අගනේය. අතීතයේ වළගම්බා රජු දවස කුපික්කල මහා තිස්ස හිමියන් හෝ මෑත ඉතිහාසයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි සඟරුවන පෙරට ආවේ නිශ්චිත, පිරිසිදු ශාසනික සහ ජාතික අරමුණක් වෙනුවෙනි.
නමුදු මෙදා බුද්ධාගම වෙනුවෙන්, එයට වන අවැඩ වෙනුවෙන් ය කියමින් පෙරට එන සංඝයා තුලම තමන් කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද යන එකඟතාවය පවා නොමැතිව එය ලොවටම ප්‍රදර්ශණය කරමින් මේ කරන්නේම විකාරයක් බව දැන්වත් කෙලින්ම කිව යුතුමය.
සාක්ෂි නැති පහරදීම් සහ “කස්සප හිමිගේ මුසාව” සේ ප්‍රකට වීම ?
මේ සඳහා කදිම උදාහරණය වන්නේ මෑතකදී උද්ඝෝෂණ අතරතුර බලන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේට පහර දුන් බවට සමාජය පුරා ගෙනගිය ප්‍රචාරයයි. නමුදු ශ්‍රී ලංකා පොලීසිය පවා නිල වශයෙන් තහවුරු කළේ එවැනි පහරදීමක් සිදු නොවූ බවයි .
ජංගම දුරකථනයෙන් ඕනෑම කුඩා සිදුවීමක් පවා වීඩියෝ ගත කරන වර්තමාන යුගයේ, මෙතරම් ප්‍රසිද්ධ හිමි නමකට මහමඟදී “ගහනවා කීවද එකදු වීඩියෝ දර්ශනයක්වත් නැතිවීම” තුළින්ම පැහැදිලි වන්නේ කුමක්ද? මෙවැනි “මුසාවන්” සහ රංගනයන් ශාසනයේ නාමයෙන් ප්‍රදර්ශනය කිරීම විකාරයක් වීම පමණකි ?
“එකක් කඩතොලු මකා ගන්නට ගොසින් සංඝාචාරියෝ දහක් කඩතොලු මවා දුන්නැයි පවසතී ජනතා බොහෝ!”

මේ සිදුවන්නේ මාලිමාවේ මතය තහවුරු කිරීමක්ද?
කිසිදු පැහැදිලි අරමුණක් නොමැතිව, ආගමික උද්වේගයන් පමණක් ඉස්මතු කරමින් මේ සිදු කරන රැඩිකල් හැසිරීම් පිටුපස පැහැදිලි දේශපාලන වුවමනාවක් හැඟී යයි. වත්මන් රජය සහ සුළු සඟ පිරිසක් එකතු වී ජනතාව පාරට බස්සවමින් මේ කරන උද්ඝෝෂණ විහිළුවේදීත් අවසානයේදී සිදුවන්නේ වත්මන් මාලිමාවේ (NPP) දේශපාලන මතය සහ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තවදුරටත් ජනතාව අතර තහවුරු වීමක්ම පමණි.
භික්ෂූන් වහන්සේලා මෙලෙස හික්මීමෙන් තොරව, විනය විරෝධී ලෙස හැසිරෙන බව එහි සියලු සිදුවීම් සමාජයට පෙන්වීම හරහා, සාම්ප්‍රදායික බෞද්ධ බලවේග කෙරෙහි ජනතාව තුළ ඇති ගෞරවය නැති කර දැමීමේ දේශපාලන වුවමනාව මාලිමාව විසින් ඉතා සූක්ෂ්ම ලෙස ඉටු කරගනිමින් සිටී. සංඝරත්නය මේ වීදි සටන් හරහා දිනා දෙන්නේ දේශපාලකයන්ගේ පැවැත්ම මිස සසුනේ උන්නතිය නොවේ.
ඥාණසාර හිමි තව තවත් සිරවීම සහ සංඝයාගේ අඥාණකම
මෙම අවිචාරවත් රැඩිකල් හැසිරීම්වල සෘජු ප්‍රතිඵලය වී ඇත්තේ, දැනට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තව තවත් ඔහුගේ දඬුවම තුළ සිරවීමම පමණි. ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් පාරට බසින සඟ පිරිස, රටේ නීතිය හා උසාවි තීන්දු හෑල්ලුවට ලක් කරමින් හැසිරෙන විට, පාලකයන්ට සහ අධිකරණයට කිසිසේත්ම නීතියෙන් බැහැරව උන්වහන්සේට සහනයක් දීමට ඉඩක් ඉතිරි නොවේ.
මෙවැනි ප්‍රචණ්ඩ සහ අවිධිමත් උද්ඝෝෂණ නිසා සිදුවන්නේම ඥාණසාර හිමිගේ නිදහස තව තවත් ප්‍රහේලිකාවක් වීම සහ උන්වහන්සේව දේශපාලන සිරකරුවෙකු ලෙස දිගින් දිගටම තබා ගැනීමට රජයට නීත්‍යානුකූල පදනමක් සැකසීමයි.
පාරට බැස කෑගසන, කිසිදු අරමුණක් නැති මේ අගේ ගරු සංඝයාට මේ සරල සත්‍යය නොතේරෙන්නේ මන්ද?
තමන් මේ ක්‍රීඩා කරමින් සිටින්නේ තමන්වම සහ මුළු මහත් සංඝ රත්නයම කළු ගලක් බවට පත් කරන, දේශපාලකයන්ගේ දූෂිත පුවරුවක ඉත්තන් වෙමින් බව මේ සංඝයා වහන්සේලාට වටහා ගැනීමට නොහැකි වී ඇත්තේ මන්ද?
දේශපාලනය සියල්ලට ඉහළින් තබා රජ කරවීමට, දහමෙහි සෙවණැල්ල පවා ජනතාව වෙතින් දුරස් කරවීමට තමන්ම දායක වන බව මේ රැඩිකල් සඟ පිරිස දැන්වත් තේරුම් ගත යුතුය යන්න
පුරෝගාමියා ගේ  අදහසයි.

Be the first to comment

Leave a Reply