
නීති විරෝධී සහ මත්ද්රව්ය ජාවාරම්වලින් උපයාගත් රුපියල් කෝටි 1004කට අධික වත්කම් සහ දේපළ පසුගිය වසර දෙකක කාලය තුළ නිෂ්ක්රීය (තහනම්) කිරීමට රජය පියවර ගෙන තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණය කළේය. යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව නීතිමය සංශෝධන රැගෙන ආ බවද අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.
වත්කම් නිෂ්ක්රීය කර ඇති ආකාරය:
අමාත්යවරයා ඉදිරිපත් කළ නිල සංඛ්යාලේඛනවලට අනුව වත්කම් තහනම් කර ඇති කාලසීමාවන් මෙසේය:
- 2024 සැප්තැම්බර් 20න් පසු: රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක්
- 2025 වසර තුළ: රුපියල් කෝටි 183ක්
- 2026 මේ දක්වා: රුපියල් කෝටි 819ක්
“නීති විරෝධී ලෙස හම්බ කරන මුදල් තියාගන්න හම්බවෙන්නේ නෑ කියන පණිවිඩය තමයි මෙතනින් දෙන්නේ. අනීතික ව කටයුතු වලින් දේපළ අත්පත් කරගත්ත නම් ඒවා තියාගන්න ලැබෙන්නේ නෑ.”
– මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල
මත්ද්රව්ය වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම්
පසුගිය වසර තුළ රට තුළ ක්රියාත්මක වූ මත්ද්රව්ය වැටලීම්වල ප්රගතියද අමාත්යවරයා සභගත කළේය. ඒ අනුව:
- සිදුකර ඇති සමස්ත වැටලීම් සංඛ්යාව 588,100 කි.
- අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිරිස 586,824 කි.
- අත්අඩංගුවට ගත් පිරිස අතර වයස 21ට අඩු තරුණයින් 11,737ක් සිටී.
අතීතයේදී පොලිසිය දේශපාලනීකරණය වී තිබූ නමුත් වත්මන් රජය පොලිසිය එම තත්ත්වයෙන් මුදාගෙන ඇති බවත්, මත්ද්රව්ය ජාවාරමට එරෙහිව සමස්ත සමාජයම පෙළගස්වා ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
Be the first to comment