
මෑත කාලීනව දැඩි කතාබහකට ලක්වූ ‘සිවුරේ සිද්ධියට’ මුවා වෙමින් රට තුළ අස්ථාවරත්වයක් මෙන්ම කඩාකප්පල්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නා විවිධ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි. කවර තත්ත්වයක් යටතේ වුවද රට නොසන්සුන් කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, මේ වන විටත් එවැනි පිරිස් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් රට පුරා යොදවා ඇති බවත් අමාත්යවරයා පැවසීය.
සාමකාමී විරෝධතාවලට රජයෙන් පූර්ණ අනුග්රහය
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මෙම දැඩි ප්රතිපත්තිය ක්රියාත්මක වන අතරතුර වුවද, පුරවැසියන් සතු ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා පූර්ණ ඉඩප්රස්ථා හිමිව ඇති බව අමාත්යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සාමකාමී පා ගමන් මෙන්ම නිදහස් උද්ඝෝෂණ පැවැත්වීමට වත්මන් රජයෙන් කිසිදු බාධාවක් නොමැති බව හෙතෙම සහතික කළේය.
විශේෂයෙන්ම, මහජනතාවට සහ දෛනික ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් සාමකාමීව වාඩි වී උද්ඝෝෂණයේ නිරත වීමට දිනක් හෝ දෙකක් නොව, අවශ්ය නම් වසර දෙක තුනක් වුවද කිසිදු බාධාවකින් තොරව අවකාශය පවතින බව පවසන ආනන්ද විජේපාල මහතා, රජය එම සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ඉතා හොඳින් ආරක්ෂා කරන බවද පැවසීය .
සිවුරේ ප්රශ්නයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්
මේ අතර, වත්මන් සමාජය තුළ විශාල අර්බුදයකට තුඩු දුන් සිවුරේ ප්රශ්නය සම්බන්ධයෙන් ද රජය මේ වන විටත් අවශ්ය පියවර ගෙන තිබේ. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කරමින් සුදුසු ක්රියාමාර්ග ගෙන ඇති බව අමාත්යවරයා සඳහන් කළේය. එහෙත්, මෙම ගැටලුව විසඳීමේදී අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවලට පිටින් යමින් කටයුතු කිරීමට ජනාධිපතිවරයා කිසිසේත් සූදානම් නොමැති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
නීතියේ ආධිපත්යය සැමට එක හා සමානයි
අතීතයේදී නීතියට පිටින් යමින් ලබා දුන් ඇතැම් ජනාධිපති සමාවන් පවා පසුව අධිකරණය විසින්ම අහෝසි කර දැමූ ආකාරය අමාත්යවරයා මෙහිදී ආවර්ජනය කළේය. එකී අමිහිරි අතීත පසුබිම සිහිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්යවරයා අවධාරණය කර සිටියේ, වත්මන් පාලනය යටතේ නීතියේ ආධිපත්යයට ඉහළින් කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා බවත්, සියලු දෙනා නීතියට යටත් විය යුතු බවත්ය.
Be the first to comment