හෙට හවස 4ට කොළඹ වටලනවා, විහාර මහා දේවී උද්‍යානයට කෑම සූදානම් ! – ඉතිහාසයේ කළු පැල්ලම් අමතක කළ උදවියට ජනතා බලයේ රතු එළියක් !

සමාජ මාධ්‍ය ජාලා පුරා ලැව්ගින්නක් සේ පැතිර යන එක්තරා වීඩියෝවක් මේ වන විට මුළු රටේම අවධානය සහ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. “හෙට හවස 4 ට කොළඹ වටලනවා ? විහාරමහාදේවි උද්‍යානයට කෑම සූදානම් !” යනුවෙන්  ‘චැනල් 4’ නාලිකාවට ඈඳමින් ප්‍රචාරය වන මෙම දර්ශන පෙළ පසුපස ඇති සැබෑ ව්‍යාංගාර්ථය කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි සැකසංකාවක් මතු වෙමින් පවතී. වඩාත්ම පුදුමයට කරුණ නම්, මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රසිද්ධ කිරීමට මාලිමා රජයේ පාර්ශවකරුවන් යැයි සැක කළ හැකි පිරිස් පවා පෙරමුණ ගෙන සිටීමයි. ඔවුන් මේ සූදානම් වන්නේ කුමකටද?
ආදරයේ අරගලයට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ අතීත මතකය
මෙම සිදුවීම දෙස බලන විට අපට අතීතයේ දරුණු මතකයන් සිහිපත් වීම වැළැක්විය නොහැක. එදා ගෝල්ෆේස් පිටියේ කිසිදු ශාරීරික පීඩාවක් හෝ ප්‍රචණ්ඩත්වයක් මුදා නොහරිමින් සාමකාමීව පැවැති ‘ආදරයේ අරගලයට’ එරෙහිව, එවකට පාලකයින් විසින් මැරයින් මුදාහැර හේතු විරහිතව පහර දී පන්නා දැමූ අයුරු අපට අමතකය. අද වන විට, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයක නිරත වන මහා සංඝරත්නය ඉලක්ක කර ගනිමින් “කෑම සූදානම්” යනුවෙන් සමාජගත කරන මෙම උඩප්පරය පිටුපසද ක්‍රියාත්මක වන්නේ එදා වැනිම ම්ලේච්ඡ ව්‍යාංගාර්ථයක්දෝ යන සාධාරණ බිය උපදියි.
චීවරයට වැටෙන නීතියේ සීමාවන් සහ පූජ්‍ය කස්සප හිමිගේ හඬ
මේ අතර, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින සංඝයා වහන්සේලා වෙත බණ දෙසීමට හෝ ආගමික වතාවත් කිරීමට පොලීසියෙන් අවසර ගත යුතු යැයි කියන කතාවක් සම්බන්ධයෙන්ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රශ්න කර සිටින්නේ, නව මාලිමා ආණ්ඩුව යටතේ ඉදිරියේදී බණ ඇසීමටත් පොලිස් අවසර ලබාගත යුතුද යන්නයි.
තත්ත්වය මෙසේ තිබියදී, අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් භික්ෂූන් වහන්සේලාගේ මෙම ඉල්ලීම් ඉටුකළ නොහැකි බවට සිදුකර ඇති ප්‍රකාශ සහ මෙම වීඩියෝ පටයේ අන්තර්ගතය එකට තබා සසඳන විට අපට පෙනී යන්නේ භයානක චිත්‍රයකි. එදා අත්තනෝමතික ලෙස අරලියගහ මන්දිරයට රැස්වී, පසුව ගෝල්ෆේස් පිටියට කඩා වැදී සිදුකළ ඒ මහා විනාශය වැනි අඳුරු කුමන්ත්‍රණයක් නැවතත් විහාරමහාදේවි උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වෙමින් පවතින්නේද?
ජනතා බලය සුළුකොට තැකීමේ ආදීනව
මාලිමාව හෝ වෙනත් ඕනෑම දේශපාලන බලවේගයක් අද දින අමතක නොකළ යුතු ප්‍රධානතම සත්‍යයක් ඇත. එදා පාලකයින් එල්ල කළ අසාධාරණ ප්‍රහාරයට එරෙහිව රටේ පොදු ජනතාව එක මිටට වීදි බැස ප්‍රතිප්‍රහාර එල්ල කළේ ස්වයංසිද්ධවය. එම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය ලෙස සමස්ත දේශපාලන ක්‍රමයම උඩුයටිකුරු කරමින් මාලිමාවට අද පවතින ජනතා බලය ලබාදීමට මූලික පදනම වැටුණේද එදා ජනතාව දැක්වූ ඒ දැඩි විරෝධය නිසාමය.
එබැවින්, මෙවැනි කුපිත කරවන සුළු ප්‍රකාශ සහ සමාජ මාධ්‍ය උඩප්පර හරහා ජනතාව උසිගැන්වීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට එකම එක දෙයක් අවධාරණය කළ යුතුය: මේ රටේ ස්වාධීනව සහ බුද්ධිමත් ලෙස සිතන්නට හැකි පොදු ජනතාව, අතීතයේදී මෙන්ම අනාගතයේදීද ඕනෑම අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික විනාශයන් හමුවේ කිසිසේත්ම නිහඬව නොසිටින බවයි!
බලය කා සතු වුවද, යුක්තිය සහ ජනතා පරමාධිපත්‍යය කෙළෙසීමට ඉඩ නොදෙන සවිඥානික සමාජයක් අද ලංකාව තුළ නිර්මාණය වී හමාරය.
පුරෝගාමියා

Be the first to comment

Leave a Reply