
ලෝකය නොසිතූ විරූ ලෙසින් විද්‍යුත් තාක්ෂණයේ ඉදිරියට මහත් වේගයෙන් ගමන් කරමින් දැන් ක්වන්ටම් විද්‍යාව සේම කෘතිම බුද්ධිය (AI) හැසිරවීම දක්වා ළඟා වී ඇත. එහෙත්, මොරටුව මහා නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන්ට මෙන්ම පක්ෂ-විපක්ෂ බහුතරයකට සමාජ ජාල හා වෙබ් අඩිවි පිළීබඳව තවමත් නිසි වැටහීමක් නොමැති වීම සැබවින්ම පුරෝගාමී නගරයකට ලැජ්ජාවකි.
“මොරටුව යනු පුරෝගාමීත්වයේ නගරයයි” යන උදෘතයට අනුව, අනෙක් නගරවල වගකිවයුත්තන්ට වඩා මොරටුවේ බලධාරීන් මේ නවීන මාධ්‍ය ප්රවණතා පිළිබඳව වඩාත් පුරෝගාමී දැනුමකින් යුක්ත විය යුතුය. එහෙත්, මොරටුව මූලික කොට පවත්වාගෙන යනු ලබන ‘පුරෝගාමියා’ වෙබ් අඩවියට නගර සභා රැස්වීම් වාර්තා කිරීමට අවසර ඉල්ලා යොමු කළ ලිපියට මාස තුනක් ගතවී ඇතත් තවමත් නිසි ප්‍රතිචාරයක් නොලැබීම කණගාටුවට කරුණකි.
මොරටුව මහා නගර සභා රැස්වීමේදී පුරෝගාමියාට අවසර දෙන්නැයි විපක්ෂ නායක ඇතුලු මන්ත්‍රීන් විසින් ඉල්ලා සිටීම
මෑතකදී පැවති මොරටුව මහා නගර සභා රැස්වීම්වලදී මෙම ගැටළුව පිළිබඳව කතාබහට ලක් විය. එහිදී විපක්ෂ නායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පෙන්වා දුන්නේ ‘පුරෝගාමියා’ වෙබ් අඩවියට නගර සභා රැස්වීම් වාර්තා කිරීමට අවසර ලබා දිය යුතු බවය. මහජන මුදලින් නඩත්තු වන සභාවක් විවෘත විය යුතු බවත්, මෙපමණ කාලයක් මාධ්‍ය ආයතනයකට අවසර නොදීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔවුන් එහිදී අවධාරණය කළහ. එහෙත්, පාලක පාර්ශ්වය විසින් මෙම යුක්තිසහගත ඉල්ලීම නොසලකා හරිමින්, එයට අවසර නොදෙන බවක් පෙන්වීම තුළින් පැහැදිලි වන්නේ ඔවුන් ප්රජාතන්ත්රවාදී මාධ්‍ය නිදහස පිළිබඳව කොතරම් නොදැනුවත්ද යන්නයි.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාව සහ මාධ්‍ය නිදහස
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට ඇති අයිතිය (සැමට ඇතුළුව මාධ්‍ය නිදහස) තහවුරු කර ඇත.
මෙය නගරාධිපතිවරයාගේ හෝ වෙනත් කිසිදු දේශපාලනඥයෙකුගේ පෞද්ගලික බූදලයක් නොව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකමකි. මෙම අයිතියට බාධා කිරීමට මොරටුව නගරාධිපතිවරයාට තබා රටේ ජනාධිපතිවරයාටවත් නීතිමය හැකියාවක් නැත.
මුද්‍රිත, විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය අතර වෙනස කුමක්ද?
බොහෝ දේශපාලනඥයන් සහ නිලධාරීන් තවමත් වැරදියට සිතා සිටින්නේ ෆේස්බුක් (Facebook), යූ ටියුබ් (YouTube) හෝ ටික් ටොක් (TikTok) වැනි පෞද්ගලික සමාජ ජාල ගිණුම් සහ වෘත්තීය මට්ටමින් පාලනය වන නිව්ස් වෙබ් අඩවි එකම කාණ්ඩයකට අයත් බවයි. මෙන්න මේ වැරදි වැටහීම නිවැරදි කරගත යුතුය:
මුද්‍රිත මාධ්‍ය (Print Media): කඩදාසි මත මුද්‍රණය කර බෙදාහරින පුවත්පත් හා සඟරා. (උදාහරණ: ඩේලි නිව්ස්, ලංකාදීප)
විද්‍යුත් මාධ්‍ය (Electronic Media): රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා.
වෙබ් අඩවි / නිව්ස් වෙබ් (News Web Portals): අන්තර්ජාලය හරහා නිල වශයෙන් පුවත් සපයන, කතුවර මණ්ඩලයක්, ලියාපදිංචි ව්‍යුහයක් සහ වගවීමක් සහිත විද්‍යුත් ප්රවෘත්ති ආයතන.
‘පුරෝගාමියා’ යනු මුද්‍රිත පුවත්පතක ස්වභාවයම අන්තර්ජාලය ඔස්සේ රැගෙන යන, විද්‍යුත් පුවත්පත් කාණ්ඩයට අයත් පිළිගත් මාධ්‍ය ආයතනයකි. එය හුදෙක් කෙනෙකුගේ පෞද්ගලික ෆේස්බුක් පිටුවක් නොවේ. එබැවින් ලංකාවේ අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ආයතන වෙත නීතිය හමුවේ හිමි වී ඇති සියලුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද මෙම වෙබ් අඩවියටද නීත්‍යානුකූලව හිමිවිය යුතුය.
ජනතා සේවය සහ ව්‍යාපාරික මාධ්‍ය අතර වෙනස
ලංකාවේ අද වන විට බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වන්නේ ආයතන හිමිකරුවන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සහ මනදොළ සපුරන මෙවලම් ලෙසිනි. එහෙත්, ‘පුරෝගාමියා’ වැනි ජනතා වාදී වෙබ් අඩවි 100%ක්ම ජනතාව වෙනුවෙන් කැපවූ, ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතන වේ. එවැනි ආයතනයකට මොරටුව මහා නගර සභා රැස්වීම් වාර්තා කිරීමට අවසර නොදීම යනු මහජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති අයිතිය වළක්වාලීමකි.
අවසාන දැනුම්දීමයි
අප මේ ඉල්ලා සිටින්නේ කිසිවකුගේ පෞද්ගලික දේපළක කොටසක් නොව, රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමකි. මොරටුව මහා නගර සභාවේ බලධාරීන් තවදුරටත් මේ පිළිබඳව නිහඬව සිටීම හෝ අවසර ලබා නොදී සිටීම යනු ඔවුන්ගේ පරිපාලනමය දුර්වලතාවය හොඳින්ම පෙන්වන කැඩපතකි .
එබැවින්, අවම තරමින් මීට මාස තුනකට පෙර යොමු කළ ලිපියට අවසර දෙනවාද නැද්ද යන්න වත් නිල වශයෙන් දැන්වීමට තරම් වගකීමක් ප්‍රදර්ශනය කරන ලෙසත්, අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ආයතනවලට මෙන් ‘පුරෝගාමියා’ වෙබ් අඩවියටද මොරටුව මහා නගර සභා රැස්වීම් ආවරණය කිරීමට වහාම අවසර ලබා දෙන ලෙසත් අපි මෙසේද දැඩිව අවධාරණය කර සිටින්නෙමු.
ස්තූතියි !
පුරෝගාමියා




Be the first to comment