
ප්‍රවීණ ගායිකා ආචාර්ය නන්දා මාලනියගේ අභාවය මුළු මහත් ශ්‍රී ලංකාවම දැඩි කම්පාවට පත් කළ සිදුවීමකි. කෙසේ වෙතත්, ඇයගේ වියෝව හමුවේ දේශපාලන අධිකාරිය සහ සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් ගලා එන ශෝකී ප්‍රකාශ දෙස ගැඹුරින් බලන විට, ඉන් බහුතරයක් අවංක හදවතින් ආ ඒවා නොව, හුදෙක් ලෝකය රැවටීම සඳහා රඟදක්වන ලද දේශපාලන නාට්‍යයන් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
” ඇය පැතූ ලෝකය ” බිහිවෙමින් පවතී යැයි දෙසනා මිථ්‍යාව
ඇතැමුන් පවසන්නේ නන්දා මාලනියන් තම ගීත තුළින් බලාපොරොත්තු වූ සහ සිහින මැවූ “අලුත් ලෝකය” දැන් බිහිවෙමින් පවතින බවයි. නමුත් සැබෑ යථාර්ථය නම් එය තනිකරම ප්‍රෝඩාවක් සහ දේශපාලන මුසාවක් වීමයි. ඇය ජීවිත කාලය පුරාම සටන් කළේත්, ගැයුවේත් පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙනි. එදා ඇය පිටුදුටු කුහක, පටු සහ වංචනික දේශපාලන සංස්කෘතිය අදටත් එලෙසම පවතී. ඇයගේ නාමය තමන්ගේ වාසියට හරවා ගනිමින්, “ඇය පැතූ ලෝකය උදාවෙමින් ඇතැයි” ප්‍රකාශ කිරීමම ජනතාව මුලා කිරීමට මේ දේශපාලකයින් කරන තවත් එක් සූක්ෂ්ම ප්‍රොඩාකාරී රැවටීමක් ම පමණි.
” පවනින් ” පන්නරය ලද තරුණයින්ගේ ඝාතන ඛේදවාචකය නොතකා හරින්නෝ ?
නන්දා මාලනිය යනු හුදෙක් සින්දු කී ගායිකාවක නොව, ඇය තම හඬ සමාජ අසාධාරණයට සහ පීඩනයට එරෙහිව අවියක් කරගත් විප්ලවීය කලාකාරිනියකි. “පවන” හි ගැයූ ඇයගේ ප්‍රබල ගීත අසා ඉන් විශාල සමාජ පන්නරයක් ලැබූ තරුණ පරම්පරාවන් ඉතිහාසය පුරා විප්ලව කරන්නට එයම උත්තේජනයක් කර ගත්හ .
නමුත් සිදු වූයේ කුමක්ද? පාලකයන්ගේ මර්දනය හමුවේ ඒ අහිංසක තරුණ ජීවිත දහස් ගණනින් ඝාතනයව වළපල්ලට ගියහ. නුමුදු මේ වන තෙක් ඒ කුරිරු ඝාතනයන් ගැන පාලන බලය ලබාද සියල්ලෝ අඳ ගොුල බිහිරන්ය .
අද නන්දා මාලනියන්ගේ වියෝව හමුවේ අපට දැනෙන සැබෑ ශෝකය උපදින්නේ මෙන්න මේ කණගාටුදායක ඉරණම නිසාවෙනි. එදා ඇයගේ ගීතවලින් උත්තේජනය ලබා විප්ලවයට ගොස් දිවිපිදූ ඒ සුජාත තරුණ පරපුරේ මියගිය ගොඩටම, අද ඒ සියල්ලට හඬක් වූ නන්දා මාලනිය ද එක්ව ඇතැයි යන සංවේගය සහ ශෝකය මෙ නිසාම අපේ හදවතට තදින්ම දැනේ.
දේශපාලන රැවටීම් සහ සැබෑ බුහුමන
ජීවත්ව සිටියදී ඇයගේ මතවාදයන්ට කිසිදු සහයෝගයක් හෝ අනුබලයක් නොදුන්, ඇය දැරූ දැඩි ප්‍රතිපත්ති තමන්ගේ පාලන ක්රමයන්ට හෝ ජීවිතවලට ආදේශ කර නොගත් දේශපාලනඥයින් අද ඇය මියගිය පසු නිවේදන නිකුත් කරමින් සිටිති. මෙය සැබෑ හිතින් කෙරෙන උපහාරයක් නොව, මැතිවරණ සහ දේශපාලන වාසි තකා ලෝකය රැවටීමට කරන රඟපෑමක්ම පමණි.
කලාකරුවෙකුට දිය හැකි ඉහළම සහ සැබෑ උපහාරය වන්නේ ඔවුන් මියගිය පසු මවන කඳුළු සංදර්ශන හෝ දේශපාලන වාසි තකා කෙරෙන ප්‍රකාශ නොවේ.
ඔවුන් තම නිර්මාණ හරහා සමාජයට දායාද කළ උදාර ප්‍රතිපත්ති සහ පණිවිඩයන් අවංකවම ආරක්ෂා කිරීමයි. නන්දා මාලනිය වෙනුවෙන් අද දේශපාලන අධිකාරිය දක්වන ව්‍යාජ අනුකම්පාව සහ ප්‍රෝඩාව, ඇය ජීවිත කාලය පුරාම තම ගීතයෙන් ප්‍රතික්ෂේප කළ කුහක සමාජ ක්රමයේම තවත් එක් කැඩපතක් පමණි.
- පුරෝගාමියා –




Be the first to comment