ජීවන බර මැද රජයෙන් එන “බලු බද්ද”: මොරටුවේදී මුදල් අය කලොත් ජනතාව දකින්නේ “බලු වැඩක්” ලෙසයි !වීර පුරන් අප්පුට අවමන් නොමදී ලියාපදිංචිය නොමිලේ සිදුකරනු !

වත්මන් දරුණු ආර්ථික අර්බුදය හමුවේ එදිනෙදා වේල පියවා ගැනීමට පවා මෙරට බහුතරයක් ජනතාව දැඩි සටනක නිරත වෙති. මෙවන් වටපිටාවක, ‘ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනතක් මඟින් රටේ සියලුම සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන ඇත.

මොරටුවේ සුනඛ ගහනය නිසා සැබවින්ම එයින් ජනතාව ලබනා පීඩාවට යම් සහනයක් මෙම පනතින් ගෙන එන නිසාම අපි එය අගය කරන්නෙමු ! නමුදු ලියාපදිංචියට මුදලක් අයකරනවා නම් ඒ අනුව නම් මොරටුව මහා නගර සභාව සිදු කරනු ඇත්තේ පුරන් අප්පු විරුවාගේ මතය ඉවත හෙලනා බලුම වැඩක් බවද කිව යුතුමය !

මෙම නව පනත මඟින් වයස සති 6ට වැඩි සෑම සුනඛයෙකුටම වාර්ෂිකව ජලභීතිකා මර්දන එන්නත ලබා දී, පළාත් පාලන ආයතන මඟින් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබේ. බලයලත් නිලධාරියෙකු ඉල්ලු  විට ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් රුපියල් 2,000ක දඩයක් වැදීමටත්, සුනඛයන් පොදු ස්ථානවල අතහැර දමන පුද්ගලයන්ට රුපියල් 10,000ක දඩයක් හෝ මාස 3ක සිර දඬුවමක් ලබා දීමටත් පනතින් ප්‍රතිපාදන සලසා ඇත. එසේම හිමිකරුවෙකු නොමැතිව වාණිජ අභිජනනය කිරීමද මෙයින් තහනම් වේ.

මෙම නීති මාලාව මුළු රටටම පොදු රජයේ තීරණයක් වුවද, එහි ඇති සුවිශේෂීම සහ ප්‍රජාතන්ත්‍රවාදී විධිවිධානය වන්නේ ලියාපදිංචිය සඳහා ගාස්තුවක් අය කරනවාද, නැතහොත් එය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරනවාද යන්න තීරණය කිරීමේ නිදහස සහ පූර්ණ බලය ඒ ඒ පළාත් පාලන ආයතන (නගර සභා සහ ප්‍රාදේශීය සභා) වෙතම පවරා තිබීමයි.

ඒ අනුව, මොරටුව තුළ ජනතාවගෙන් “බලු බද්දක්” අය කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ ස්වාධීන නිදහස මොරටුව මහා නගර සභාව සතුව පවතී. රජයේ නීතියට මුවා වී, මොරටුව වැසියන්ගෙනුත් මේ සඳහා මුදල් අය කිරීමට නගර සභාව කටයුතු කළහොත්, වත්මන් ජීවන වියදමත් එක්ක අසරණ වී සිටින ජනතාව එය දකින්නේ අන් කිසිවක් නොව තනිකරම “බලු වැඩක්” ලෙසින් බව පුරෝගාමියා පවසන්නේ ඒ නිසාමය .

වීරාභිමුඛ ඉතිහාසයක් ඇති මොරටුව වැනි ප්‍රදේශයකට “බලු බද්ද” යනු අලුත් වචනයක් නොවේ. පසුගියදා මොරටුව මහා නගර සභාව විසින් වීර පුරන් අප්පු ශ්‍රීමතාණන්ව ගුණානුස්මරණය කරද්දී, එදා සුප්‍රකට “වීර පුරන් අප්පු” සිනමාපටයේ පසුබිම් ගීතයද එහි වාදනය විය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් මෙරට ජනතාව පෙළීමට ගැසූ සාපකාරී බලු බද්දට එරෙහිව නැඟී සිටිමින් එදා පුරන් අප්පු වීරයන් එඩිතරව ප්‍රකාශ කළේ:

“අද බලු බද්ද ගැසූවන්, හෙට දවසේ මව්වරුන්ගේ තනේ කිරිවලටත් බදු ගසනු ඇත!” යන්නය

එදා පුරන් අප්පු වීරයා ගොඩනැඟූ ඒ ප්‍රබල තර්කය අදටත් වලංගුය. පනත මඟින් ගාස්තු තීරණය කිරීමේ නිදහස නගර සභාවට දී තිබියදී, පුරන් අප්පුලා බිහිකළ, ඔහුගේ මතකය නිල වශයෙන් සමරන මොරටු පොළොව මත නැවත වතාවක් ජනතාව පීඩාවට පත් කරන මෙවැනි බදු එකතු කිරීමට මොරටුව නගර සභාව කටයුතු නොකළ යුතුය. නගර සභාව තමන්ට ලැබී ඇති ඒ ස්වාධීන බලතල උපයෝගී කරගනිමින් කළ යුත්තේ මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මොරටුව වැසියන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ඉටු කර දීමයි.

අද වන විට බොහෝ දෙනෙකු නිවෙස්වල සුනඛයන් ඇති කරන්නේ ඉතාමත් මානුෂීය බැඳීමකින්, තමන් කන බොන දෙයින් කොටසක් දී ඔවුන් තම පවුලේම සාමාජිකයන් සේ රැකබලා ගනිමිනි. මේ වන විටත් සත්ව ආහාර සහ බෙහෙත් වර්ගවල මිල ගණන් අහස උසට නැඟ ඇත. මෙවැනි තත්ත්වයක් තුළ, ලියාපදිංචිය සඳහාත් නගර සභාව මුදලක් අය කළහොත්, සිදු වන්නේ ජීවන වියදම දරාගත නොහැකිව මිනිසුන් තම සුරතලුන් මහමඟ අතහැර දැමීමයි. එය පනතේ මූලික අරමුණ වන ජලභීතිකා මර්දනය පවා සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කරන්නකි.

මහජනතාව වශයෙන් අප සුනඛයන් ලියාපදිංචි නොකර අතහැර දැමුවහොත් පනවන දඩ මුදල්වලට හෝ හිමිකරුවන්ගේ වගකීම් සහගත වීමට විරුද්ධ නැත. දඩ ගැසුවාට අපට ප්‍රශ්නයක් නැත. එහෙත්, රජයේ නීතිය ක්‍රියාත්මක කරන අතරතුරම, මොරටුව මහා නගර සභාවට ලැබී ඇති නිදහස ප්‍රකාරව වත්මන් ජන ජීවිතය දෙස මානුෂීය මුහුණුවරකින් බලා, කිසිදු ගාස්තුවක් අය නොකර මෙම සේවාව නොමිලේම සැපයිය යුතුය. වීර පුරන් අප්පුලාගේ නාමයෙන් මොරටුව නගර සභාව මේ මොහොතේ මහජනතාව වෙනුවෙන් සාධාරණව පෙනී සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

  • පුරෝගාමියා

Be the first to comment

Leave a Reply