
ශ්රී ලංකාවේ අද දවසේ බහුතරයක් ජනතාව ජීවත් වන්නේ ජීවිතයත් මරණයත් අතර දරුණු අරගලයකිනි. උදේ නැගී සිටින මොහොතේ පටන් රැයට නින්දට යන තුරු සාමාන්ය මිනිසාට මුහුණ දීමට සිදුව ඇත්තේ ඉහළ යන බඩු මිල, ඉස්සීමට නොහැකි තරම් ඉහළ ගිය වක්ර බදු සහ දරාගත නොහැකි ජීවන වියදම සමඟිනි. එහෙත්, මේ දැවෙන ප්රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට පාලකයන් කරමින් සිටින්නේ කුමක්ද?
ජනතාවගේ බෙල්ල මිරිකන අණපනත් සහ හිස් ප්රචාර
දිනෙන් දින ඉහළ යන බදු බරින් පීඩිත ජනතාව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් කරමින් විවිධ අණපනත් සහ රෙගුලාසි සමාජය තුළට මුදා හරිමින් තිබේ. එදිනෙදා කුලී වැඩක් කර, දහඩිය මහන්සියෙන් ජීවිකාව ගෙන යන මධ්යම පාන්තිකයා සහ දිළිඳු ජනතාව මතට බදු පිට බදු පටවද්දී, ධනපතියන්ට සහ මහා පරිමාණ ව්යාපාරිකයන්ට සහන සැලසෙන අයුරින් නීති සම්පාදනය වීම අද දවසේ අමිශ්ර යථාර්ථයයි.
මිනිසුන්ගේ බඩගින්නට, ණයබරට සහ ආර්ථික අර්බුදයට විසඳුම් දීමට නොහැකි වූ තැන, පාලකයන් විසින් දැන් උත්සාහ කරමින් සිටින්නේ “හොරු අල්ලනවා” සහ “මත්ද්රව්ය වටලනවා” වැනි මාධ්ය සංදර්ශන පෙන්වමින් ජනතාවගේ ඇස්වලට වැලි ගැසීමටයි. දිනපතා අසන්නට ලැබෙන මත්ද්රව්ය වැටලීම් සහ පරණ කතා නැවත හැරවීම් හරහා බඩගින්නේ සිටින මිනිසාගේ කුස පිරෙන්නේ නැත.
පුහු උද්දීපන සහ සමාජ මාධ්ය සංදර්ශනවලින් ජනතාව රැවටිය නොහැක !
මෙම අසාර්ථකත්වයන් වසා ගැනීමට රජය තවදුරටත් ගෙන යන නාට්යමය උත්සාහයන් අතිශයින්ම හාස්යජනකය.
චීවරයේ උද්ඝෝෂණ නැවැත්වීම වැනි පුහු උද්ධීපන හරහා ජනතාවගේ අවධානය වෙනත් මාවත්වලට හැරවීමට තැත් කිරීමත්, ඒ මදිවාට කස්සපගේ හෝ වෙනත් පාර්ශ්වයන්ගේ කිංස්බරී සීසීඩී (CCD) වීඩියෝ ප්රචාරය කරමින් සමාජය මුළා කිරීමට සිතීමත් සම්පූර්ණ විහිළුවකි.
බඩු මල්ලේ බරින් සහ ඉහළ ගිය බදු බරින් මිරිකී සිටින ජනතාවට මේවා කිසිදු අදාළත්වයක් නැති, පාලකයන්ගේ බංකොලොත් භාවය පෙන්වන ළදරු ක්රියා පමණි. බඩගින්නේ සිටින, දරුවන්ට අධ්යාපනය ලබා දීමට නොහැකිව, බෙහෙත් වේලක්වත් මිලදී ගත නොහැකිව වැලපෙන ජනතාවට මෙම මවාපෑම්වලින් හෝ නාට්යවලින් කිසිදු සහනයක් දැනෙන්නේම නැත.
මාලිමාව ගැන රටක් පුරා ඇත්තේ බරපතළ කලකිරීමකි
අද වන විට රටේ සමස්ත ජනතාවම පාහේ රජය පිළිබඳ දැඩි කලකිරීමකින් සහ ආවේගයකින් පසුවෙයි. ඡන්ද දායකයන් විශාල බලාපොරොත්තු තබා පත් කරගත් පාලකයන්ද පෙර මෙන්ම ජනතාව අමතක කර, බලය ආරක්ෂා කර ගැනීමට සහ මෙවැනි ලාභ ප්රචාර හරහා ජනතා අවධානය වෙනත් මාවත්වලට හැරවීමට උත්සාහ කිරීම බරපතළ ඛේදවාචයකි.
ජනතාවට අවශ්ය වී ඇත්තේ හිස් ප්රචාර, මාධ්ය සංදර්ශන හෝ මවාපෑම් නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ:
සාධාරණ බදු ප්රතිපත්තියක් (වක්ර බදු අඩු කර, ධනපතියන්ගෙන් ඍජු බදු අය කිරීම).
බඩු මිල පාලනය කරමින් සාමාන්ය මිනිසාගේ ජීවිතයට ඔරොත්තු දෙන ආර්ථික වැඩපිළිවෙළක්.
ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන මර්දනකාරී අණපනත් වහාම අහෝසි කිරීමයි.
කාලය ඉවරයි !
ජනතාව තවදුරටත් මෝඩයන් නොවේ. පීඩිත ජනතාවගේ ඉවසීමේ සීමාව පැන ගොස් හමාරය. හොරු අල්ලනවා යැයි කියමින්, මත්ද්රව්ය වටලනවා යැයි පවසමින් සහ විවිධ වීඩියෝ සංදර්ශන පෙන්වමින් ජනතාවගේ සැබෑ ප්රශ්න යටපත් කිරීමට දැරෙන උත්සාහයන් හමුවේ, ඉදිරියේදී මේ රටේ ජනතාවගෙන් එල්ල වන ප්රතිචාරය කුමන ආකාරයේ එකක් වේද යන්න මාලිමා පාලකයන් විසින් දැන්වත් තේරුම් ගත යුතුය.

Be the first to comment