බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම: මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට රු. 2500ක දඩයක් !

2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට රුපියල් 2500ක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මෙනෙවිය අද (ජූලි 09) නියෝග කළාය.

මෙම දඩය නියම කෙරුණේ, තමන්ට එරෙහිව තිබූ පළමු චෝදනාව වන “රිය අනතුරක් වළක්වා නොගැනීම” යන වරදට ඔහු අධිකරණය හමුවේ වරදකරු බව පිළිගැනීමෙන් අනතුරුවය.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී චූදිතයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහ අජිත් නන්දකුමාර යන මහත්වරුන් ප්‍රකාශ කළේ තම සේවාදායකයා එම චෝදනාවට වරද පිළිගන්නා බවයි.

සිද්ධියට අදාළව ඔහුට එරෙහිව තවත් චෝදනා දෙකක් පවතී:

  • අපරීක්ෂාකාරීව රිය පැදවීම

  • බීමත්ව රිය පැදවීම

මෙම දෙවන සහ තෙවන චෝදනා ඉදිරියට පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සහ පළමු චෝදනාවට දඬුවම් නියම කිරීම සඳහා අද දින නඩුව කැඳවා තිබිණි. ඒ අනුව, ඉතිරි චෝදනා දෙක සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වීමටත්, නියම කරන ලද දඩ මුදල ගෙවීම සඳහාත් නඩුව නැවත එළඹෙන අගෝස්තු මස 20 වන දින කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමට පෙර දැරූ උත්සහය

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ තමන්ට එරෙහිව පැවැත්වෙන මෙම නඩු විභාගය තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පසුගිය 2025 සැප්තැම්බර් 04 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ, ගල්කිස්ස අධිකරණයේ ඇති මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා රවී සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඩුල්ල ඉදිරියේ එවකට මෙම පෙත්සම සලකා බලා තිබුණි.

Be the first to comment

Leave a Reply