
“තැනක් නැත්නම් රේස් පත්තරේට හරි ලියනවා” යන්න එදා සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලියූ සටන් පාඨයකි. එය හුදු වැකියක් නොව, පෑන පාවා නොදෙන සැබෑ මාධ්‍යවේදියෙකුගේ ආත්ම ප්‍රකාශනයයි.
එදා නාසි කඳවුරක සිට ලේ වලින් ලියූ මිනිසකුගේ මරණ මංචකයේදී පවා මරණය පෙනි පෙනී වුව සත්‍යය සොයා යන ….. ජීවිතය සුන්දරයි’ කී චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් මාධ්‍යවේදී ජුලියස් පුචික් ගිය ඒ අකම්පිත මාවතේම මෙරට මුද්‍රිත මාධ්‍ය තුල පෑන මෙහෙයවූයේ සුනිල් මාධව ප්‍රේමතිලක සහෝදරායාමය.
ඔහු එදා බිහි කළ ‘පුචික්ගේ පරපුර’ අසාධාරණයට එරෙහිව පෑන අවියක් කරගත් අසහාය මිනිසුන්ගෙන් සැදුම්ලත් එකක් විය.
සුනිල් මාධවයන් ලාංකීය පාඨකයාට හඳුන්වා දුන් ලෝකය පුළුල් එකක් විය. ඔහු පරිවර්තනය කළ “හඬනු මැන නිදහස” වැනි කෘති හරහා මෙරට ජනතාව දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණු ස්ටීව් බිකෝ වැනි විප්ලවවාදීන් මෙන්ම, ඒ වෙනුවෙන් පෑන මෙහෙයවූ ඩොනල්ඩ් වුඩ්ස් වැනි අභීත මාධ්‍යවේදීන්ගේ ජීවිත අත්දැකීම් හඳුනා ගත්හ. ලෝකයේ කොතැනක වුවද සත්‍යය සහ නිදහස වෙනුවෙන් කෙරෙන අරගලයේ ස්වභාවය එකක්ම බව අපට ඉන් පසක් කර දුන්නේ ඔහුය.
එදා මුද්‍රිත පත්තර පිටු අතරින් ඇසුණු ඒ සත්‍යෙය් හඬ, අද විද්‍යුත් (ඩිජිටල්) ලෝකයේ මේ ‘පුරෝගාමියා’ වෙබ් අඩවිය තුළ ප්‍රතිරාවය වන්නේද එකම අරමුණක්, එකම දැක්මක් ඇතිවය. මාධ්‍යයේ ස්වරූපය පත්තර පිටුවෙන් පරිගණක හෝ ජංගම දුරකථන තිරය දක්වා වෙනස් වුවද, එදා සුනිල් මාධවයන් සපත කළ ඒ ප්‍රතිපත්තිය සහ පන්නරය අබමල් රේණුවකින් හෝ වෙනස් වී නැති බව අප මෙයින් යළි යළිත් සපත කර සිටිමු.
මාධ්‍ය කලාව යනු අද වන විට වෙළෙඳපොළ භාණ්ඩයක් හෝ පාලක විපක්ෂ බල ලෝභී බලවතුන්ගේ වහලෙකු වී ඇති යුගයක, කිසිවක් නොපතා ස්වේච්ඡාවෙන් සත්‍යය වෙනුවෙන් පෙනී සිටීම සැබෑ අභියෝගයකි. සමාජයීය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ එල්ල වන බලපෑම් හමුවේ බිය වැද්දීමට හෝ දණ ගැස්වීමට නොහැකි වුවද, සත්‍යය පවසන්නන් ‘මරා දැමීම’ ඉතා සුළු දෙයක් කොට සලකන නරුම වටපිටාවක වුවද, අපේ කොන්ද කෙලින් තබා ගැනීමට ලැබුණු පන්නරය සුනිල් මාධවයන්ගේ භාවිතාවම බව පැවසිය යුතුම වෙයි .
මරණ බිය හෝ ලාභ ප්‍රයෝජන හමුවේ කිසිදා මේ ගමන හැර නොයන බවට වන ප්‍රතිඥාව අදත්, හෙටත් එනිසාම අප සතුය.
කිසිවක්ම නොපතා රටක් සහ මිනිසුන් වෙනුවෙන් කරනු ලබන මේ දුෂ්කර මාධ්‍ය මෙහෙවරෙන් ලබනා ආත්ම තෘප්තිය සේම ඒ තුලින් යම් පිනක්, කුසලයක් වේ නම්, ඒ සියල්ල හිමිවිය යුත්තේ අන් කිසිවෙකුට නොව, “ජීවිතය සුන්දරයි” කියා අපට කියා දුන්, ජීවිතයම අකුරු දහඩියෙන් සරසා නික්ම ගිය කිසිවක්ම ළඟට කැඳවා කියා නොදුන් නමුදු භාවිතාව තුල වුවමනවාටත් වඩා අපේ පරමාදර්ශය වූ අපේ ආදරණීය සත්‍යවාදියා ගුරු, සුනිල් මාධව ප්‍රේමතිලකයන්ටමය.
ඔබ තැනූ පරපුර විද්‍යුත් අවකාශය තුළ වුවද කිසිදා ඔබ හිමිකර දුන් යුක්තියේ ශක්තියේ මේ පන්හිඳ බිම නොතබනු ඇත !
* පුරෝගාමියා *

Be the first to comment