“ලිස්ට් එකට වෙඩි තැබූ” අතීතය සහ මීගමුවෙන් ඇසෙන මරණයේ මළ බෙරය ?

මීගමුව බන්ධනාගාරයෙන් ඇසෙන්නේ තවත් එක් මරණ පරීක්ෂණ වාර්තාවක වියළි සංඛ්‍යාලේඛන සමුදායක් පමණක් නොවේ. ඒ, මනුෂ්‍යත්වයේ නාමයෙන් අප හඬා වැසිය යුතු, තවත් එක් මනුෂ්‍ය ඝාතන රැල්ලක බිහිසුණු ඇත්තයි.

පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඒ බිහිසුණු ගැටුමෙන් සමස්තයක් ලෙස පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් තිබේ. ඉන් 24 දෙනෙකුගේම මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය නිල වශයෙන් පවසයි. වෛද්‍ය සුජීව වික්‍රමනායකගේ සභාපතිත්වයෙන් යුත්, වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, වෛද්‍ය සමන්ත විජේරත්න, වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ වෛද්‍ය රමේෂ් අලගියවන්න යන පංච පුද්ගල අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මීගමුව රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

එම පරීක්ෂණ වාර්තා මඟින් හෙළි වන ඇත්ත රටක් භීතියෙන් සලිත කරවන්නකි. මරණකරුවන්ගෙන් 14 දෙනෙකුම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙනි. තවත් 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති අතර, එක් රැඳවියෙකුගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබා දී ඇත. රජයේ රැකවරණය යටතේ, සිව්දෙසින් තාප්පවලින් වටවුණු සිරගෙයක් ඇතුළත, රඳවා සිටි මිනිසුන් 14 දෙනෙකුට වෙඩි තබා මරා දැමීමට තරම් මේ ක්‍රමය කුරිරු වූයේ කෙසේද?

මේ මීගමුවෙන් ඇසෙන වෙඩි ශබ්දය අපට අලුත් දෙයක් නොවේ. එය අපව බලහත්කාරයෙන් කැඳවාගෙන යන්නේ මෙරට බන්ධනාගාර ඉතිහාසයේ ලේ වැකුණු අඳුරුතම මතකයන් වෙතටයි. එදා වැලිකඩ ඇතුළු බන්ධනාගාරයන්හි, රාත්‍රියේ ආයුධ සන්නද්ධව පැමිණ, කලින් සකස් කරගත් ‘නම් ලැයිස්තු’ (ලිස්ට්) කියවමින්, සිරකරුවන් එකිනෙකා පිටතට ඇද දමා හිසට වෙඩි තබා ඝාතනය කළ අතීතයක් අපට ඇත. එදා සිරකුටි තුළ මෙන්ම, අද මීගමුවේදී ද සිදුව ඇත්තේ එකම ඛේදවාචකයකි. තාප්පවලින් එපිට ලෝකයට නීතිය සහ මානව හිමිකම් ගැන දේශනා කරන පාලකයන්, තාප්පවලින් මෙපිට නිරායුධ මිනිසුන්ගේ ජීවිත අහේතුකව උදුරා ගන්නා මේ ම්ලේච්ඡ චක්‍රය තවමත් අවසන් වී නැත.

බන්ධනාගාරයක් යනු වැරදිකරුවන් මිනිසුන් කිරීමට තැනූ තැනක් මිස, උන්ව අමු අමුවේ මරා දමන ඝාතකාගාරයක් නොවේ. මියගිය අය අතර එක් ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් ද ඇතුළුව තවත් මෘතදේහ හතරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු තවමත් සිදුවෙමින් පවතී. එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (ජූලි 08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ද මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද අද (ජූලි 09) වන විට අවසන් කර ඇත. මේ හැම මරණයකින්ම තුවාල ලැබුවේත්, අනාථ වූයේත් තවත් අහිංසක මනුෂ්‍ය පවුල් කිහිපයකි. මෘතදේහයන් ඥාතීන්ට භාර දුන් පමණින් හෝ සාක්ෂි කැඳවීම් අවසන් කළ පමණින් මේ මරණවලට වගකිවයුත්තන් නිදහස් වන්නේ නැත.

“ජීවිතය සුන්දරයි” කියා අපට කියා දුන් සුනිල් මාධවයන් එදා ලීවා සේ, “අයිතිය වෙනුවෙන් කතා කරන, නැතහොත් වැට අස්සෙන් රිංගා යන මිනිසාට වෙඩි තැබීම” මේ පොළොවේ සාමාන්‍ය දෙයක් වී තිබේ. එදා නම් ලැයිස්තු බලා වෙඩි තැබූ පාලකයන්ගේත්, අද සිරගෙවල් ඇතුළත වෙඩි බලයෙන් ප්‍රශ්න විසඳන්නට යන උදවියගේත් මතවාදය එකක්මය.

අප මේ ලියන්නේ මියගිය උන් වැරදිකරුවන්ද, නිවැරදිකරුවන්ද යන්න සෙවීමට නොවේ; උන් මනුෂ්‍යයන් නිසාය. රාජ්‍ය රැකවරණය මැද සිටින මිනිසෙකුට වෙඩි තබා මැරීමට කිසිදු ක්‍රමයකට අයිතියක් නැති නිසාය. එදා මෙන්ම අදත්, සිරගෙවල් ලෙයින් තෙත් කරන මේ නරුම පාලන තන්ත්‍රයට එරෙහිව අපේ පෑන කිසිදා නිහඬ නොවනු ඇත. මීගමුවේදී මරා දැමූ ඒ මිනිසුන්ගේ ලේ තැවරුණු ආත්මයන්, මේ ක්‍රමයේ හෘද සාක්ෂියෙන් අදත් ප්‍රශ්න කරමින් සිටී!

Be the first to comment

Leave a Reply