හරක් කටාගේ බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගැටය: නීතිඥ රඛිත සහ චරිත්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයේ පසුවන පාතාල කල්ලි නායක ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තකගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය මුල් කරගනිමින්, මුළු රටේම අවධානය දිනාගත් නඩු විභාගයේ අලුත්ම තොරතුරු අද (ජූලි 03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව සැකකරුවන් ලබන ජූලි 17 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කෙරිණි.

නාවල පාරේ රහස් ගනුදෙනුව සහ ඩුබායි සංචාරයේ සුලමුල

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය, අධිකරණය හමුවේ විමර්ශනවල ඉතා සංවේදී කරුණු රැසක් හෙළිදරව් කළාය.

“ස්වාමීනි, මේ සිද්ධිය පිටුපස විශාල ජාලයක් තිබෙනවා…”

“සැකකරුවන් විසින් රුපියල් කෝටි දෙකක මුදලක් හරක් කටාගේ බිරිඳට ලබා දී තිබෙන්නේ ‘හර්බි’ හෙවත් නිර්මාණ බණ්ඩාර නමැත්තාගේ මිතුරෙකු වන ලසන්ත මංජුල ද සිල්වා (මිදිගම ලසා) මාර්ගයෙන්. මෙම මුදල් හුවමාරුව සිදුව ඇත්තේ නුගේගොඩ, නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි ස්ථානයකදියි. විශේෂම කරුණ නම්, මෙම ස්ථානය දෙවන සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂගේ පියාගේ නිවස වීමයි.”

විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති පරිදි, මෙම සැකකරුවන් තිදෙනා හරක් කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්තිගෙන් මුදල් ලබාගැනීම සඳහා 2023 මාර්තු 25 වන දා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර, නැවත ලංකාවට පැමිණ ඇත්තේ මාර්තු 29 වන දාය.

එම වකවානුවේදීම, එනම් 2023 මාර්තු 21 වන දා රඛිත රාජපක්ෂගේ පියා ද ඩුබායි බලා ගොස් ඇති බව තහවුරු වී ඇත. “ඔහු ඩුබායි ගියේ කුමන අවශ්‍යතාවකටද? එහිදී ඔහු හමුවූයේ කාවද? සහ ඔහු මෙම අපරාධයට සම්බන්ධද?” යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

සයිබර් අවකාශයේ කැළඹීම සහ TID මැදිහත්වීම

මෙම සිද්ධියට සමගාමීව cybernewslk නමැති වෙබ් පිටුවක පළ වූ වාර්තා සම්බන්ධයෙන් ද අධිකරණයේදී කරුණු අනාවරණය විය.

එම තොරතුරු අන්තර්ජාලයට මුදාහළ අනූප එරංජිත් රාජපක්ෂ නමැත්තාගේ නිවස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් පරීක්ෂා කර ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව, අසභ්‍ය දර්ශන සහිත දෘඩ තැටියක් (Hard drive) ළඟ තබා ගැනීම සහ රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා තිබුණ ද පසුව ඔහු නිදහස් කර ඇත. මේ වන විට එම පුද්ගලයා තමන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් සහ වන්දි ඉල්ලා නඩු පවරා ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

අල්ලස් කොමිසම සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

Be the first to comment

Leave a Reply