යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව: “අපි විවාහ වෙලා ඒ ගෙදර පදිංචියට යන්නයි හිටියේ” – හිටපු පෙම්වතිය උසාවියේදී කියයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව අද (ජූලි 09) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදී යළි විභාගයට ගැනිණි. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් CSN රූපවාහිනී නාලිකාවේ හිටපු ප්‍රධානී යසාරා අබේනායක මහත්මිය, විත්තිකාර යෝෂිත රාජපක්ෂ සහ තමන් අතර පැවති පැරණි ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳව විවෘත අධිකරණයේදී කරුණු අනාවරණය කළාය.

තමන් සහ යෝෂිත අතර පැවති සම්බන්ධය පවුල්වල නොගැලපීම් මත 2013 වසරේදී පමණ බිඳ වැටුණු බව ඇය සඳහන් කළාය. නඩුවට පාදක වී ඇති දෙහිවල, මිහිඳු මාවතේ පිහිටි නිවස පිළිබඳව සාක්ෂි දෙමින් ඇය මෙසේ පැවසුවාය.

“මේ නඩුවට පාදක වන දෙහිවල, මිහිඳු මාවතේ පිහිටි නිවසට මම ගිහින් තියෙනවා. අපි විවාහ වෙලා එම නිවසේ පදිංචියට යන්න යි හිටියේ. යෝෂිත තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හදන කාලේ යෝෂිත නාවික හමුදාවේ වැඩ කළා. CSN නාලිකාවේ වැඩවලටත් යෝෂිත උදව් කළා.”

ඉන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාරිය, අදාළ නිවස කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත වූ සුවිශාල මන්දිරයක් බවද පිළිගත්තාය.

මේ අතර, මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවකු වූ රත්මලානේ පදිංචි ලූෂන් රත්නායක මහතා ද අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය. රත්මලාන, කෙකටිය පාරේ පිහිටි තමන්ට අයත් පර්චස් 31ක ඉඩම විකිණීමට කටයුතු කළ ආකාරය ඔහු එහිදී විස්තර කළේය.

තම හිතවතෙකු වූ වසන්ත කුමාර ජයසූරිය නැමැත්තා හරහා ඉඩම මිලදී ගැනීමට ගැනුම්කරුවෙකු ඉදිරිපත් වූ බවත්, නමුත් එම ගැනුම්කරු කවුදැයි තමා දැන නොසිටි බවත් පවසමින් සාක්ෂිකරු අධිකරණය හමුවේ සිනාමුසු මුහුණක් පෑවේය. ඒ අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, “ඇයි ඔබ හිනාවෙන්නේ? ඔබ ඇහැව්වේ නැද්ද ඉඩම ගන්නේ කවුද කියලා?” යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

Be the first to comment

Leave a Reply