අපේ රටේ සියලු කුලල් කා ගැනීම් වලට උත්තරයක් ? එදා “The Twilight Zone” බලද්දී මට හිතුණු දේ # ජගත් පනාගොඩගේ

අද අපේ රට දිහා බලද්දී මට වෙලාවකට හිතෙනවා, අපිට ඇත්තටම මොකද මේ වෙලා තියෙන්නේ කියලා. පොඩි දේකටත් පක්ෂ පාට, ජාති, ආගම් කිය කියා කැබලිවලට බෙදිලා එකිනෙකා සමඟ යුද්ධ කරන තරම් තැනට අද මිනිස්සු ඇවිත්.  ඇවිත් නෙමෙයි  මිනිසුන්ව ගෙන ඇවිත් . අපේ රටේ පට්ට කපටි දේශපාලකයෝ තමන්ගේ බලය රැකගන්න එක එක ජාතියේ බෙදීම් හදද්දී, අපිත් පට්ට මොඩයෝම වෙන බැවින් ඒ සියල්ලට අහුවෙලා උන්ගේ අතකොළු වෙනවා. වහල්ලුම වෙනවා ?

මෙහෙම අද වෙනකොට සංඝයාද ඈඳා කිසිදු අරමුණකින් නිශ්චිත ජනතා සහනයක් ලබා දෙන්නට නොව බලය සඳහාම සටන් වදිනා දෙපක්ෂයම ගැන සිතා සිටිනා මට එකපාරටම මතක් වුණේ මම විදෙස් ගතව සිටිද්දී අතීතයේ බලපු “The Twilight Zone” කතා මාලාවේ එක කතාවක්. ඒ කතාවේ නම “A Small Talent for War”.

ඒ කතාවේ වෙන්නේ මෙන්න මෙහෙම ….

එක දවසක් අභ්‍යවකාශයෙන් පිටසක්වල ජීවියෙක් පෘථිවියට එනවා. ඇවිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවේදී මිනිස්සුන්ට මෙහෙම කියනවා:

“තමුන්නාන්සේලා කියන්නේ එකිනෙකා එක්ක යුද්ධ කරන්න විතරක් චුට්ටක් විතර දක්ෂතාවයක් (A small talent for war) තියෙන, නමුත් ඒක මහා ඉහළින් හිතාගෙන හැමතිස්සෙම ඇන කොටාගෙන මරාගන්න ජාතියක්. ඒ හින්දා අපේ උසස් සභාව තීරණය කළා තමුන්නාන්සේලාගේ මේ පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න!”

මේ අනතුරු ඇඟවීම අහපු ගමන් පෘථිවියේ ඉන්න මිනිස්සු බයෙන් ගැස්සිලා යනවා. “අම්මෝ… අපේ ජීවිත ටික බේරගන්න ඕනේ, පිටසක්වලයින්ට අපි සාමකාමී හොඳ ජාතියක් කියලා පෙන්වන්න ඕනේ” කියලා සේරම රටවල් එකතු වෙනවා. එතෙක් තිබුණු දේශපාලන ප්‍රශ්න, දේශසීමා වලි, ආයුධ හදන එක සේරම නවත්වල, ජාති පාට භේද අමතක කරලා හැමෝම එකමුතු වෙලා එක රැයෙන් මුළු ලෝකෙටම සාමය උදා කරනවා.

ඊටපස්සේ, ලෝකයේ නියෝජිතයෝ අර පිටසක්වලයා ගාවට ගිහින් බොහොම ආඩම්බරයෙන් කියනවා, “මෙන්න බලන්න, අපි දැන් සේරම ප්‍රශ්න, යුද්ධ අතහැරලා සාමයෙන් එකමුතු වුණා. ඒ හින්දා අපේ පෘථිවිය විනාශ කරන්නේ නැතුව අපිව බේරගන්න” කියලා.

එතකොට අර පිටසක්වලයා හිනාවෙලා කියපු දේ අහලා මුළු ලෝකෙම හොල්මන් වෙනවා!

“තමුන්නාන්සේලාට වැරදිලා! අපි හිතුවේ මතු යම් දවසක තමුන්නාන්සේලා කියන්නේ විශ්වයටම තර්ජනයක් වෙන තරමට යුද්ධ කරන්න, අතිදරුණු විනාශයන් කරන්න දැවැන්ත හැකියාවක් තියෙන බලවත් ජාතියක් කියලා. ඒත් අපි පොඩි තර්ජනයක් කරපු ගමන් තමුන්නාන්සේලා යුද්ධ සේරම අතහැරලා මෙච්චර ඉක්මනට එකතු වෙලා සාමය ඇති කරගත්තා නේද? ඒ කියන්නේ තමුන්නාන්සේලාට යුද්ධ කරන්න තියෙන්නේ ඉතාම පොඩි, බාල හැකියාවක්.  වගේම ඒ සියල්ල හිකනෙකාගේ බලය වෙනුවෙන් අත්හැර දමනා අවස්ථාවාදයක් තමුන්නාන්සේලා කිසිම වැඩකට නැති, කිසිම බලයක් නැති දුර්වල ජාතියක්! අන්න ඒ නිසයි අපි දැන් තමුන්නාන්සේලාව විනාශ කරන්නේ!”

කතාව එතනින් ඉවරයි. හැබැයි ඒ කතාවේ තියෙන අමුතුම උපහාසය අද අපේ රටට හොඳටම ගැලපෙනවා නේද?

අපේ රටේ මිනිස්සුත් අද කරන්නේ දේශපාලකයන්ට ඕන විදිහට එකිනෙකා එක්ක රණ්ඩු වෙන එක. බලය රැකගන්න උන් හදන බෙදීම්වලට අහුවෙලා, එකම රටේ සහෝදරයෝ වගේ ඉන්න ඕන මිනිස්සු අපි එකිනෙකාගේ පාමුල වළ කපාගන්නවා.

අපිට සාමය, එකමුතුකම කියන දේ තේරෙන්න පිටසක්වලින් කවුරුහරි ඇවිත් අපිට තර්ජනය කරනකල් ඉන්න ඕනද? එහෙම නැත්නම් අපේ රටේ ඉන්න මිනිස්සු එකිනෙකා මරාගෙන විනාශ වෙනකල් බලන් ඉන්න තව කවුරුහරි පිටස්තර බලවේගයකට ඉඩදීලා බලන් ඉන්නවද?

කතාවේ හිටපු පිටසක්වලයා කිව්වා වගේ, අපිට ඇත්තටම තියෙන්නේ “බෙදිලා රණ්ඩු වෙන්න තියෙන පුංචිම පුංචි දක්ෂතාවයක්” විතරද? නැත්නම් එකතු වෙලා රටක් ගොඩනගන්න පුළුවන් ලොකු ශක්තියක් අපිට තියෙනවද?

මේ පුංචි රට ඇතුළේ තවත් බෙදෙන්නේ නැතුව, පක්ෂ පාට, ජාති ආගම් පැත්තක තියලා එකතු වෙන්න කාලය දැන් ඇවිත්. නැත්නම් වෙන්නේ, අපේම නොසැලකිල්ල සහ මෝඩකම නිසා අපි අපේම අතින් මේ ලස්සන රට විනාශ කරගන්න එක හා අපි අපිම විනාශ වෙන දේම විතරයි !

මේ තමයි මට අද හිතෙන දේ

ජගත් පනාගොඩගේ

පුරෝගාමියා වෙනුවෙන් ….

Be the first to comment

Leave a Reply