
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) එවකට සිටි ඉහළම නිලධාරීන් වූ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඒ ගැන නිසි පියවරක් නොගත් බවට අධිකරණය හමුවේ බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම ජූලි 17 වැනිදා අභියාචනාධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
ප්‍රහාරයට මාස තුනකට පෙර ලැබුණු ලිපිය
සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, ප්‍රහාරය සිදුවීමට මාස කිහිපයකට පෙර, එනම් 2019 ජනවාරි 31 වැනිදා වන විටත් අයි.එස්.අයි.එස්. (ISIS) මතවාදය මෙරට පතුරවන පුද්ගලයන් 129 දෙනෙකුගේ නාම ලැයිස්තුවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් CID එකට බාර දී තිබූ බවයි.
“මේ ලැයිස්තුවේ හිටපු අය සිරියාවට, තුර්කියට ගිහින් ත්‍රස්ත පුහුණුව ලබපු අය. සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හීද් ජමාත් කල්ලියේ අය ගැන මෙච්චර පැහැදිලි තොරතුරු තොගයක් ලැබිලත්, එදා CID එකේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අධ්‍යක්ෂ ශානි අබේසේකර මොවුන්ව අත්අඩංගුවට ගන්න කිසිම පියවරක් නොගත්තේ ඇයි?” — ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන
පාකිස්ථානයෙන් ආ අනතුරු ඇඟවීම් සහ වාර්තා 97ක්!
තත්ත්වය මෙසේ තිබියදී, 2018 වසරේදී පාකිස්ථාන බුද්ධි අංශ පවා ලංකාවේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ගැන ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා තිබූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, 2017 ඔක්තෝබර් සිට ප්‍රහාරය සිදුවූ දවස දක්වා සහරාන් සහ ඔහුගේ කල්ලියේ අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයා සහ CIDය වෙත නිල වාර්තා 97ක්ම යොමු කර තිබූ බව හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ දිවුරුම් පෙත්සමකද සඳහන් වන බව මෙහිදී මතක් කර දෙන ලදී.
මෙවැනි බරපතළ වගකීම් පැහැර හැරීමක් සිදුකළ නිලධාරීන්, අද වන විට තමන්ගේ සේවාදායකයා (සුරේෂ් සලේ) සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගත් අතර, මෙම නඩුකරයට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන්ද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Be the first to comment