
- රාජ්ය පරිපාලන චක්රලේඛ අමු අමුවේ උල්ලංඝනයක් !
- වැඩ නොකරන නිල ඊමේල් ! අයි.ටී (IT) අංශය නිදි වැදිලාද ?
- පක්ෂ – විපක්ෂ හැමගේ අවධානය පිණිසයි !
ශ්රී ලංකාවේ පළාත් පාලන ආයතන නඩත්තු වන්නේ මහජනතාවගේ සෘජු සහ වක්ර බදු මුදලිනි. එබැවින් එම ආයතනවල තීන්දු තීරණ, මූල්ය පරිහරණයන් සහ පොදු මහ සභා රැස්වීම්වල සිදුවන දෑ විනිවිදභාවයකින් යුතුව දැනගැනීමට පුරවැසියාට පැහැදිලි අයිතියක් ඇත. එම තොරතුරු ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ පාලම වන්නේ නිදහස් මාධ්යයි.
නමුත්, මොරටුව මහා නගර සභාවේ වර්තමාන පරිපාලනය ක්රියා කරන ආකාරය දෙස බැලීමේදී පෙනී යන්නේ, ඔවුන් තවමත් රාජ්ය පරිපාලන නීති සහ මාධ්ය නිදහස පසෙකලා අත්තනෝමතික ‘හොර නින්දක’ පසුවන බවයි. මෙම අකාර්යක්ෂම ක්රියාකලාපය සමස්ත මොරටු වැසියන්ටම ශාපයක් බඳු වී ඇත.
දින 98ක් තිස්සේ මීක් නොකියා මඟහරින්නේ ඇයි ?
මොරටුව මහා නගර සභා රැස්වීම් කිසිදු භේදයකින් තොරව වාර්තා කිරීම සඳහා නිල මාධ්ය අවසරය ඉල්ලා ‘පුරෝගාමියා’ පුවත් වෙබ් අඩවියේ කර්තෘ විසින් මොරටුව නගරාධිපති නිශාන්ත ප්රදිනාන්දු මහතා වෙත නිල ලිපියක් යොමු කරන ලද්දේ 2026 ජූනි මස 15 වනදාය. එය නගරාධිපති කාර්යාලයේ සේවිකාවක විසින් අතින්ම බාරගෙන (එම අත්සන සහිතව) ඇත.
එම අවසරය දෙන්නේද නැද්ද යන්න වැනි මූලික තීරණයක් ප්රකාශ කිරීමට පවා මේ වන විට දින 98කට වඩා වැඩි (මාස 3කුත් සතියක්) කාලයක් ගතවී ඇතත්, එය යලිත් විමසා ඊමේල් යොමු කලද නගරාධිපතිවරයා හෝ නාගරික කොමසාරිස්වරිය ඇතුළු බලධාරීන් මේ දක්වා කිසිදු නිල පිළිතුරක් ලබා දී නැත.
නගර සභා රැස්වීමේදී නැගුණු හඬ සහ කොමසාරිස් කාර්යාලයේ තත්ත්වය
මෙම මාධ්ය අවසරය ලබාදීම සම්බන්ධයෙන් මොරටුව මහා නගර සභා රැස්වීමේදී පවා පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව,මොරටුව දේශපාලන පක්ෂ සංවිධායකයින් වන සුරේෂ් ඉන්දික මන්ත්රීතුමා සමන්ත සිල්වා මන්ත්රීතුමා සහ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා ඇතුළු පිරිස නගරාධිපතිවරයාගෙන් සහ මහා සභාවෙන් අවසර දෙන ලෙස ඉල්ලා සිටි බව ද සත්යයකි .
නගරාධිපතිවරයා ද දිනක් පෞද්ගලිකව “මා එය දෙනවා” යැයි පැවසුවද, ප්රායෝගිකව සිදුව ඇත්තේ එසේ කියා පුරෝගාමියා ගේ ලිපිය මඟහැරීමයි. පසුව ඊමේල් මගින්ද මේ පිළිබඳව නැවත විමසා යැවූ අතර ඒ ගැනඑහි ගොස් සොයා බැලීමේදී, නගරාධිපතිවරයාගේ පුද්ගලික නිල ඊමේල් ගිණුම වැඩ නොකරන බවද හෙළි වී ඇති අතර, නාගරික කොමසාරිස්වරයා වෙත ඊමේල් මඟින් යොමුකල ලිපිය නියෝජ්ය කොමසාරිස්වරයා විසින් නගරාධිපතිවරයා වෙත යොමු කළ බව පුරෝගාමියාට ඒ පිළිබදව විමසීමේදී ප්රකාශ කර ඇතත් . එහි ප්රතිඵලය තවමත් බින්දුවේ ම වේ!
නිල වෙබ් අඩවියේ ඊමේල් වැඩ නැත: IT දෙපාර්තමේන්තුව බුදිද?
මොරටුව මහා නගර සභාවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති ප්රධාන ඊමේල් ලිපින දෙකටම හා එහි සඳහන් නගරාධිපතිවරයාගේ ඊමේලයට (moratuwamc@gmail.com ඇතුළු) මේ පිළිබඳව ලිපි යොමු කළද කිසිදු ප්රතිචාරයක් නැත. රාජ්ය ආයතනයක නිල සන්නිවේදන ඊමේල් ගිණුම් අක්රිය වී ඇත්නම් හෝ ඒවාට ලැබෙන පණිවුඩ කියවන්නේ නැත්නම්, නගර සභාවේ තොරතුරු තාක්ෂණ (IT) අංශය කරන්නේ කුමක්ද? ඔවුන් මහජන බදු මුදලින් වැටුප් ලබමින් නිදි වදින්නෝද?
මෙය තාක්ෂණයේ වරදක් නොව, නගර සභා පරිපාලනයේ පවතින වගකීම් විරහිතභාවයේ සහ අකාර්යක්ෂමතාවයේ පතුලම පෙන්වන කැඩපතකි. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අරමුණ වූ රටම ඩිජිටල් කිරීමේ වුවමනාවට මොරටුව නගර සභා පාලනය විසින් පයින් ගැසීමකි !
රජයේ චක්රලේඛ අමු අමුවේ උල්ලංඝනය කිරීමක්!
මහජනතාවගෙන් සහ මාධ්ය ආයතනවලින් ලැබෙන ලිපි සහ ඊමේල්වලට පිළිතුරු නොදීම සරල කරුණක් නොව, රජයේ නීති සෘජුවම උල්ලංඝනය කිරීමකි. රාජ්ය පරිපාලන අමාත්යාංශය මඟින් නිකුත් කර ඇති රාජ්ය පරිපාලන චක්රලේඛ අංක: 27/2023 අනුව:
- ඊමේල් දිනපතා පරීක්ෂා කිරීම: සියලුම රාජ්ය ආයතනවල පොදු සහ නිල ඊමේල් දිනපතා පරීක්ෂා කර මහජන ලිපිවලට වහාම පිළිතුරු සැපයිය යුතුය.
- සති 4ක කාලය සහ අතුරු පිළිතුරු: ලිපියකට අවසන් තීරණයක් දීමට කල්ගත වේ නම්, සති 4ක් (දින 28ක්) ඇතුළත ලිපිය ලැබුණු බවත්, ඊට ගන්නා පියවරත් දක්වමින් “අතුරු පිළිතුරක්” (Interim Reply) යැවීම අනිවාර්ය වේ.
‘පුරෝගාමියා’ ලිපියට දින 98ක් ගතවනතුරුත් අතුරු පිළිතුරක් හෝ නොදීම හරහා මොරටුව නගරාධිපතිවරයා සහ කොමසාරිස්වරිය මෙම චක්රලේඛ නීති අමු අමුවේ උල්ලංඝනය කර ඇත.
පක්ෂ-විපක්ෂ සැමගේ අවධානයට!
මෙම ගැටලුව හුදෙක් එක් මාධ්ය ආයතනයකට අවසර නොදීමේ ප්රශ්නයක් පමණක් නොවේ. මොරටුවේ ඕනෑම සාමාන්ය පුරවැසියෙකු තම පොදු ගැටලුවක් මුල් කරගෙන නගරාධිපතිවරයාට හෝ කොමසාරිස්වරියට ලිපියක් ලියා නගර සභාවට ඊමේල් මගින් නොව අතින්ම බාරදුන් පසුත් , එයට අත්වන ඉරණම මෙයින් මනාව පැහැදිලි වේ.
මෙම වගකීම් විරහිත ක්රියාව පිළිබඳව මහා නගර සභාව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ සියලුම දේශපාලන නියෝජිතයන්ගේ සහ මොරටුවේ බුද්ධිමත් ජනතාවගේ අවධානය යොමු විය යුතුය. තොරතුරු වසා තැබීමට සහ රාජ්ය නීති උල්ලංඝනය කිරීමට නගර සභා බලධාරීන්ට ඇති අයිතිය කුමක්ද ?
‘පුරෝගාමියා’ මාධ්ය ජාලය ලෙස අප බලධාරීන්ට අවධාරණය කරන්නේ, වහාම මෙම ‘හොර නින්දෙන්’ අවදි වී, රජයේ චක්රලේඛවලට ගරු කරමින් පුරවැසියන්ගේ සහ මාධ්ය ආයතනවල ලිපිවලට නිසි පිළිතුරු සහ මාධ්ය අවසරය හෝ එයට ඔබේ කුමන පිළිතුරක් වුවද කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති නම්, ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් තහවුරු කර ඇති භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) වෙනුවෙන් නීතිමය සහ පරිපාලනමය ක්රියාමාර්ග ගැනීමට පුරෝගාමියා පසුබට වන්නේ නැත.
පුරෝගාමියා




Be the first to comment