අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කලැයි: දේශබන්දු ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වසරේ පැවති ‘අරගල’ සමයේදී සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම හරහා ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම නඩුවට අදාළව එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නලීන් ශ්‍රියන්ත යන අය මෙලෙස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කර ඇත.

සිදුවීම පසුපස ඇති පසුබිම

‘ගෝඨා ගෝ හෝම්’ (Gota Go Home) යන තේමාව සහ අදාළ විරෝධතා අන්තර්ජාලයට මුදා හැරියේ යැයි චෝදනා නගමින්, අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයා අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තරුණයාට හිමිකර දී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය මෙන්ම සමානාත්මතාවේ අයිතිය යන මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබිණි. ඒ අනුව, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස නිල වශයෙන් තහවුරු කරනු ලැබීය.

Be the first to comment

Leave a Reply