ලක්ෂ 3ක අල්ලස් අරං ? මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපති ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්: රේගු නිලධාරියාට ඇප !

මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි පාර්සලයක් නිදහස් කර දීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා, ඉන් ලක්ෂ තුනක මුදලක් ලබාගත් බව කියන තැපැල් ස්ථානාධිපතිවරයා සහ ඔහුගේ සහායකයා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (10) නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම සිදුවීමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කරන රේගු නිලධාරියාට (දෙවන සැකකරු) රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමටද පියවර ගැනුණි.

අධිකරණයේදී දිගහැරුණු වීඩියෝ සාක්ෂි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතර, මෙම දූෂිත ගනුදෙනුව සිදුවූ ආකාරය දැක්වෙන විශේෂ වීඩියෝ පටයක්ද ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. විවෘත අධිකරණයේදී එම වීඩියෝ පටය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගයන් ප්‍රකාශයට පත් කරන ලදී.

Be the first to comment

Leave a Reply