යෝෂිත රාජපක්ෂ නීතිවිරෝධී ලෙස නාවික හමුදාවට බඳවා ගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අවශ්‍ය සුදුසුකම් නොමැති වුවද, නාවික හමුදා විධායක ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස නීති විරෝධී ලෙස බඳවා ගැනීමට කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ (ජූලි 3) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී හිටපු නාවික හමුදාපතිවරයාව අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදිරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 2.5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කෙරිණි. එසේම ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

අත්අඩංගුවට ගැනීමට හේතු වූ පසුබිම

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන පරිදි, 2006 වසරේදී යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීමේදී නියමිත මූලික අධ්‍යාපන සහ අනෙකුත් සුදුසුකම් සපුරා නොතිබුණද, එවකට පැවති බඳවා ගැනීමේ නිර්ණායක සහ පටිපාටි හිතාමතාම වෙනස් කරමින් ඔහුව කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගැනීමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාවේ එවකට පැවති සාමාන්‍ය සම්ප්‍රදායන් සහ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින්, රජයේ පොදු අරමුදල් වැය කර එක්සත් රාජධානියේ (UK) බ්‍රිටැනියා රාජකීය නාවික විද්‍යාලයේ (Britannia Royal Naval College) විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා යෝෂිත රාජපක්ෂ මහතාව පිටත් කර හැරීමට කටයුතු කිරීම තුළින් බරපතළ දූෂණ ක්‍රියාවක් සිදු කර ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

යෝෂිත රාජපක්ෂත් අත්අඩංගුවට පත්වෙයි

මෙම සිද්ධියටම අදාළව, දූෂණ ක්‍රියාවලට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඉකුත් ජුනි 17 වැනිදා යෝෂිත රාජපක්ෂ මහතාවද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඔහුද දැඩි ඇප කොන්දේසි සහ විදේශ ගමන් තහනමක් මත මුදා හැරීමට අධිකරණය කටයුතු කළේය.

රාජ්‍ය දේපළ සහ මුදල් අයථා ලෙස පරිහරණය කරමින්, තනතුරු බලය අවභාවිත කර සිදුකර ඇති මෙම බඳවා ගැනීමේ වංචාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Be the first to comment

Leave a Reply