
අල්ලසේ කොටසක් ඩුබායි හිදී සිදුවූ බවට සැක: සැකකරුවන් ඩුබායි ගිය කාලයේම විජයදාස රාජපක්ෂත් එහි ගිහින්
හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ සංචාරය සහ අල්ලස අතර ඇති සම්බන්ධය සෙවීමට අල්ලස් කොමිසමෙන් දැඩි පියවර
නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි; ජූලි 17 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ (SJB) හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ තවත් සැකකරුවෙකු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන රුපියල් මිලියන 120ක අල්ලස් විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කෙරෙහි ද මේ වන විට දැඩි සැකයක් සහ අවධානයක් යොමුව තිබේ.
මෙම සැකකරුවන් තිදෙනා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 3) ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන්ව එළඹෙන ජූලි 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
මෙම නඩුව පවරා ඇත්තේ පාතාල කල්ලි නායකයකු වන ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවූ සමයේ, ඔහුගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවකට අදාළවය.
ඩුබායි සංචාරය සහ විජයදාස රාජපක්ෂ මහතාට එල්ල වන සැකය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුවන් 2023 මාර්තු 25 වැනිදා ඩුබායි බලා පිටත්ව ගොස් නැවත 2023 මාර්තු 29 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
එමෙන්ම, රඛිත රාජපක්ෂගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද 2023 මාර්තු 21 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් එම වකවානුවේදීම ඩුබායි හි රැඳී සිට ඇති බව කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මේ හේතුවෙන් අදාළ අල්ලස් ගනුදෙනුවේ කොටසක් ඩුබායි හිදී සිදුව ඇති බවට සැක කෙරෙන අතර, හිටපු අමාත්‍යවරයාගේ එම ඩුබායි සංචාරය සහ මෙම අල්ලස අතර සෘජු සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව විමර්ශකයින් මේ වන විට දැඩි ලෙස පරීක්ෂණ පවත්වන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යවරයාගේ මෙම ඩුබායි සංචාරයේ සැබෑ අරමුණ කුමක්ද, ඔහු එහිදී මුණගැසුණු පුද්ගලයන් කවුද සහ මෙම කියන අපරාධයට ඔහුගේ කිසියම් සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.
මීට අමතරව, අදාළ අල්ලස් මුදලින් කොටසක් අතරමැදියන් මාර්ගයෙන් නාවල, විජයබා මාවතේ පිහිටි විජයදාස රාජපක්ෂ මහතාගේ නිවස පිහිටි ස්ථානයකදී භාරදී ඇති බවට ද කොමිසම අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළේය.
விත්ති පාර්ශවයේ නීතිඥවරුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, ඉදිරිපත් කර ඇති කරුණු නඩු විභාගයේදී තහවුරු කළ යුතු ඒවා බැවින් සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරාගම මහතා පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී ඇප ලබාදීම සඳහා කිසිදු සුවිශේෂී කරුණක් ඉදිරිපත් වී නොමැති බවයි. ඒ අනුව ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ජූලි 17 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

Be the first to comment