ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සැප්තැම්බරයට පෙර මුළුමනින්ම අහෝසි කෙරේ: ඒ වෙනුවට නව පනතක් ?

දශක හතරකට වැඩි කාලයක් මෙරට ක්‍රියාත්මක වූ මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) එළඹෙන සැප්තැම්බර් මාසයට පෙර සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ වෙනුවට වත්මන් සමාජයට දැඩි තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ මර්දනය ඉලක්ක කරගත් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට නියමිතය.

“සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත”

රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, “සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ පනත” ලෙස නම් කර ඇති මෙම නව පනත් කෙටුම්පතේ මූලික කටයුතු මේ වන විටත් සකස් කර අවසන්ය.

පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවසන් තීරණ ගෙන ඇත.

සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවීම

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ:

  • දීර්ඝ කාලීන ත්‍රස්තවාදය මෙරටින් තුරන් කර තිබුණද, වර්තමානයේ රට මුහුණ දී සිටින්නේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ තර්ජනයට බවයි.

  • නීති විරෝධී ලෙස මුදල් විදේශගත කරන ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි මර්දනය කිරීමට දැනට පවතින සාමාන්‍ය නීති රීති ප්‍රමාණවත් නොවන බැවින් මෙම නව පනත අත්‍යවශ්‍ය වන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම

පැරණි PTA පනත හරහා ඕනෑම පුද්ගලයෙකු අභිමතය පරිදි (විවිධ අර්ථකථන ඔස්සේ) අත්අඩංගුවට ගැනීමට තිබූ පුළුල් ප්‍රතිපාදන නව නීතිය මඟින් සීමා කෙරේ. මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නොවන පරිදි, මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් පමණක් ඉලක්ක කරගත් නිශ්චිත පරාසයක් තුළ පමණක් මෙම නව පනත ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

PTA පනතේ ඉතිහාසය

මතක තබා ගනිමු: 1978 වසරේදී උතුරු පළාතේ පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පාලනය සඳහා ‘තාවකාලික පියවරක්’ ලෙස මුලින්ම පැනවුණු මෙම නීතිය, 1982 දී ස්ථිර පනතක් බවට පත් කෙරිණි. වසර 50කට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මක වූ මෙම පනත, පාලකයන් විසින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදාගන්නා බවට දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබුණි.

Be the first to comment

Leave a Reply