
“අපි ඊළඟ පියවරට යන්නට ඕනේ. විද්‍යුත් වාහන (Electric Vehicles) ආනයනය කිරීම විතරක් මදි. එදා මගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතුන් රට පුරා ඇඟලුම් කම්හල් දෙසීයක් හැදුවා වගේ, මේ රටේ විද්‍යුත් වාහන කර්මාන්තශාලා පද්ධතියක් ස්ථාපනය කරලා, ඒ වාහන අපේ රටේම නිෂ්පාදනය කරන්න පැහැදිලි ඉලක්කගත වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දේශීය EV නිෂ්පාදන දැක්ම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
සමච්චලයට නොසැලෙන අපේ ඉදිරි දැක්ම
“අපි මේ අලුත් දෙය කියනකොට සුපුරුදු පරිදි සමහරු හිනාවෙයි, සමච්චල් කරයි. ලංකාවේ අලුත් දෙයක් කියද්දී හිනාවෙන එක සාමාන්‍ය දෙයක් වෙලා. එදා ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහන කරනකොටත් ඔය විදිහටම හිනා වුණා. ‘අපි හැමදාම ඇඳුම් ආනයනය කරන රටක් වෙන්න ඕනේ’ කිය කිය අපහාස කරා, සුද්දියන්ට ජංගි මහනවා කිය කියා අවලාද නැඟුවා. අපේ රටේ තරුණ තරුණියන්ව විදේශිකයන්ට ඇඳුම් මස්සන්න යොමු කරනවා කියලා බැන වැදුණා.
නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ? එදා අපිට හිනා වුණු ඒ ඇඟලුම් ක්ෂේත්රය තමයි අද මේ රටට විදේශ විනිමය ගේන ප්‍රධානතම ප්‍රවාහය වෙලා තියෙන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා, අපිට ඉදිරි දැක්මක් තියෙනවා. ඉලෙක්ට්‍රික් වාහන භාවිතය ප්‍රචලිත කරනවා විතරක් නෙවෙයි, EVs අපේම රටේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ස්ථාපනය කිරීම තමයි අපේ වර්තමාන සහ ඉදිරි දර්ශනය.”
ගැටලුවලට විසඳුම: “ප්‍රේමදාස ක්‍රමය”
“සමහරු කියන්න පුළුවන් ලංකාවේ ඕවා කරන්න බෑ, විදුලි බිල ප්‍රශ්න තියෙනවා, කම්කරු ගැටලු තියෙනවා කියලා. මම දකින්නේ ඒක කර්මාන්තශාලා බිහි නොකරන්න නිදහසට කරුණු කීමක් විතරයි. මේ කර්මාන්තශාලා ස්ථාපනය කරන්න නම් ‘රණසිංහ ප්‍රේමදාස ක්‍රමය’ ක්‍රියාත්මක කරන්නම ඕනේ.
මොකක්ද ඒ ප්‍රේමදාස ක්‍රමය? අදම අවස්ථාව ලබා දීලා, නිශ්චිත දින වකවානු දීලා, ‘මෙන්න මේ අහවල් කර්මාන්තශාලා ප්‍රමාණය අපි මේ රටේ විවෘත කරනවා’ කියලා නිලධාරීන්ට සහ ආයෝජකයින්ට සෘජු නියෝග සහ උපදෙස් දෙන්න ඕනේ. ඒ විවෘත කරන දිනය හරියටම දුන්නම, නිලධාරීන්ට සිද්ධ වෙනවා ඒකට අවශ්‍ය අවසර, ඉඩකඩම්, යටිතල පහසුකම් වගේම මේ ක්ෂේත්රයට අවශ්‍ය විශේෂ දිරිගැන්වීම් කඩිනමින් සලසා දෙන්න. ඒ වැඩපිළිවෙළ ඔස්සේ අපි මේ රටේ EV විප්ලවය නියත වශයෙන්ම සිදු කරනවා.”

Be the first to comment