පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් – මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වත්මන් පොලිස්පතිවරයා සහ හිටපු පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ.

සාගර කාරියවසම් මහතා විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් චෝදනා කළේ, වත්මන් ආණ්ඩුව යටතේ මෙරට හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුට අතිශය ඛේදනීය සහ අභිරහස් ඉරණම්වලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මුහුණ දුන් සිදුවීම් උදාහරණ ලෙස පෙන්වා දුන්නේය. එමෙන්ම, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන අරමුණුවලට සේවය කිරීම නතර කර, සැබෑ ලෙසම රටේ ජනතාවට සහ නීතියට සේවය කරන ලෙසයි.

මෙම මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය මෙසේය:

“ඉතාම කණගාටුදායක තත්ත්වයක් තවත් මේ රටේ පැනනැඟිලා තියෙනවා. ඒක තමයි මේ රටේ පොලීසියට අත් වී ඇති ඉරණම. පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ මේ රටේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන දෙපාර්තමේන්තුවක්. මේ රටේ නීතිය හා සාමය රැකීමට මහත් වූ කාර්යභාරයක් ඉටු කරපු දෙපාර්තමේන්තුවක්. ඒ වගේම ශ්‍රී ලංකා පොලීසිය… අපි දන්නවා ශ්‍රී ලංකා පොලීසියට ඇතුළු වන ඒ නිලධාරීන්ට, ඒ පොලිස් නිලධාරීන්ට, පොලිස් බටයන්ට කිසිම දිනෙක තමන්ගේ සේවයට සරිලන වැටුපක් කවදාවත් රජයෙන් ගෙව්වේ නැහැ. එහෙම වුණත් ඒ වැටුප ගැන නොතකා ඔවුන් තමන්ගේ සේවය කළේ මහත් වූ ආත්මාභිමානයකින්.

නමුත් මේ වනකොට ශ්‍රී ලංකා පොලීසියේ තත්ත්වය ඉතාම — මම හිතන්නේ ලජ්ජාසහගත ආකාරයෙන් ඉතාම පහත් තැනකට ඇද දමමින් ඉන්නවා මේ ආණ්ඩුව විසින්. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ මේ රටේ 34 වෙනි පොලිස්පතිවරයා හැටියට හිටපු පූජිත ජයසුන්දර මහතා මේ වනකොට මරණ දඬුවම නියම වෙලා හිරගෙදර ඉන්නවා. මේ රටේ 35 වෙනි පොලිස්පතිවරයා හැටියට පත්වෙච්ච සී. ඩී. වික්‍රමරත්න මහත්තයා ඉතාම අභිරහස් ලෙස වැටී මියගොස් තියෙනවා, තමන්ගේ නිවසේදී. මේ රටේ 36 වෙනි පොලිස්පතිවරයා හැටියට පත්වෙච්ච දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට සේවයේ සිටියදී සේවයෙන් ඉවත් කරනු ලැබූ පොලිස්පතිවරයෙක් බවට පත්වෙලා නිවසට වෙලා ඉන්නවා. හිටපු පොලිස්පතිවරුන් තුන්දෙනෙකුට මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව යටතේ ඉතාම ඛේදනීය ඉරණම් තුනකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

ඒ වගේම අපි වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිතුමාට ඉතාම ගෞරවයෙන් කියා සිටිනවා, ඔබතුමා දැන් ආණ්ඩුවට සේවය කරන එක නවත්තලා, රජයට සහ ජනතාවට සේවය කරන්න පටන් ගන්න. මොකද අපි කැමති නැහැ මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාලා මැරිච්ච පොලිස්පතිවරයා, 37 වෙනි පොලිස්පතිවරයා හැටියට ඉතිහාසගත වෙනවට. පොලිස් දෙපාර්තමේන්තුව ඒ තරමට පහත් තැනකට මේ ආණ්ඩුව විසින් පත් කරලා ඉවරයි.”

Be the first to comment

Leave a Reply