තෙල් සංස්ථාවේ රැකියා දුන් දේශපාලන හිතවත්කම්වලට තිත තියයි: “හිතවත්කම් හෝ සල්ලි වලට ජොබ් දෙන්නේ නෑ”

අතීතයේ පටන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබාදීම යනු දේශපාලනඥයන්ගේ සහ ඉහළ නිලධාරීන්ගේ “ඡන්ද මල්ල” හෝ “පෞද්ගලික බුදලයක්” බවට පත්ව තිබූ බව රහසක් නොවේ. පාලකයින් මාරු වන සෑම අවස්ථාවකම සුදුසුකම් පසෙක ලා, දේශපාලන හිතවත්කම්, ලියුම් කෑලි සහ ඇතැම් විට ලක්ෂ ගණනින් දෙන අල්ලස් මත තෙල් සංස්ථාවේ රැකියා බෙදාදුන් බවට මහජනතාවගෙන් දිගින් දිගටම දැඩි මැසිවිලි සහ චෝදනා එල්ල විය.

කෙසේ වෙතත්, අතීතයේ පැවැති එම දූෂිත දේශපාලන පත්වීම් සංස්කෘතිය සහ වත්මන් ක්‍රමවේදය අතර පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) නව තීරණයකට එළඹ තිබේ.

අතීතයේ දේශපාලන හිතවත්කම් vs මෙදා විනිවිදභාවය

මීට පෙර පැවැති ක්‍රමවේදයන් යටතේ රැකියා ඇබෑර්තු පිරවීමේදී දේශපාලන මැදිහත්වීම් සහ ඉහළ නිලධාරීන්ගේ බලපෑම් අනිවාර්ය සාධකයක් වී තිබූ අතර, විශාල වශයෙන් මුදල් අල්ලස් ලෙස ලබා ගනිමින් රැකියා ලබා දුන් බවට ද තොරතුරු වාර්තා වී තිබිණි.

නමුත් මෙවර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගෙන ඇත. නව පත්වීම් සම්බන්ධයෙන් අදහස් දක්වන එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අවධාරණය කරන්නේ මින් ඉදිරියට කිසිදු දේශපාලන හෝ නිලධාරී මට්ටමේ බලපෑමකට ඉඩ නොතබන බවයි.

විශේෂ නිවේදනය: “රැකියා ලබා ගැනීම සඳහා කිසියම් හෝ දැන හැඳුනුම්කමක්, දේශපාලන හිතවත්කමක් පාවිච්චි කර ඇති බවට අනාවරණය වුවහොත්, අදාළ පුද්ගලයා එම රැකියාව සඳහා සදහටම නුසුදුස්සෙකු කරනු ලැබේ.”

අල්ලස් ගත්තොත් සහ දුන්නොත් නීතිය හමුවට!

අතීතයේ මුදල් මත රැකියා තීරණය වුවද, මෙවර රැකියා ලබා දීම හෝ ලබා ගැනීම වෙනුවෙන් කිසියම් හෝ මුදල් ගනුදෙනුවක් (අල්ලසක්) සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ වන අයදුම්කරුවන් මෙන්ම නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වයන් තරාතිරම නොබලා වහාම නීතිය හමුවට පමුණුවන බව සභාපතිවරයා දැඩිව ප්‍රකාශ කර සිටියි.

ඕනෑම අයෙකුට විවෘත අවස්ථාවක්

ඒ අනුව, පැරණි දේශපාලන ‘ලියුම් කෑලි’ ක්‍රමය සහ අල්ලස් දූෂණ මුළුමනින්ම අහෝසි කරමින්, සුදුසුකම් සපුරා ඇති රටේ ඕනෑම සාමාන්‍ය වැසියෙකුට කිසිදු බලපෑමකින් තොරව මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමටත්, තමන්ගේම දක්ෂතාවයෙන් රැකියාව ලබා ගැනීමටත් වත්මන් පාලනාධිකාරිය විසින් අවස්ථාව උදාකර දී තිබේ.

Be the first to comment

Leave a Reply