විපක්ෂය විහිළුවක් නොව විකාරයක් කරනා යක්ෂ රාජ වජිරපාණී වස් කවි රැල්ල: බුද්ධිමත් ජනතාව ගොනාට අන්දවන දේශපාලන සෙල්ලමකි !

සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ පැතිර යන “යක්ෂ රාජ වජිරපාණි” වස් කවි සහ ගීත රැල්ල, හුදෙක් කලකිරුණු ජනතාවගේ වෛරය පිටකිරීමක් පමණක් නොවේ. එය මේ රටේ සමස්ත ජනතාවම මෝඩයන් සේ සිතා, ඔවුන්ව අමූලික මිථ්‍යාවක ගිල්වා දේශපාලන වාසි ගැන්මට දියත් කළ තවත් එක් කුපාඩි න්‍යාය පත්‍රයකි.

රටේ බහුතරයක් ජනතාව මේ දේශපාලන විකාර පිළිනොගන්නා බව සත්‍යයකි. අතීතයේ මෙන් පාර්ලිමේන්තුවේ ආසන මත “ඌරු තෙල්” ගා, මන්ත්‍රීවරුන් මන්ත්‍රණය කර විශ්වාසභංග දිනන්නට හැකැයි සිතූ ගෝත්‍රික, මුලා වූ යුගය මේ රටේ ජනතාව දැන් පසුකර හමාරය!

මේ මොහොතේ රටට ඇවැසි වන්නේ තවදුරටත් ජනතාව මුලාවේ හෙළීම නොවේ! වත්මන් රජය විසින් සමාජය මත මුදාහැර ඇති අසාධාරණ පීඩනය, ආර්ථික බලපෑම සහ විවිධ පනත් මඟින් මෙරට පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සිදු කිරීමට අර අඳින මාරාන්තික අනතුර වටහා ගැනීමයි. නමුත් රජය මේ කිසිදු පීඩනයක වගකීමක් භාර නොගන්නා අතර, සියල්ල මඟහරිමින් සිටියි.

ඛේදවාචකය වන්නේ, රජයේ මර්දනයට සහ පීඩනයට එරෙහිව සෘජු දේශපාලන සටනක් මෙහෙයවිය යුතු විපක්ෂයද, අද රජය මෙන්ම බලලෝභීත්වයෙන් සහ කුප්‍රකට “ඩීල්” පිටුපස හැංගෙමින්, වගකීම්වලින් නිද්‍රාශීලීව සිටීමයි. රජය ජනතාව පෙළන විට, විපක්ෂය කරන්නේ මේ සියලු පීඩනයන් හා වගකීම් මහා සංඝරත්නය (සංඝයා) පිට පටවා බලා සිටීමයි.

තමන්ගේ දේශපාලන පරාජිතභාවය සහ වගකීම් පැහැර හැරීම වසාගැනීමට විපක්ෂයද මේ වස් කවි පිටුපස හැංගී “වෙස් වලාගෙන” එන්නට උත්සාහ කරයි. වස් කවි හරහා රජයට විනාශය පතමින්, ජනතාව මිථ්‍යාවෙන් මත් කරවා තමන්ගේ දේශපාලන අරමුණු ජයගත හැකියැයි විපක්ෂය සිතන්නේ නම් එය මුලාවක් පමණක් නොවේ; එය මේ රටේ ඉන්නා බුද්ධිමත් පුරවැසියන්ගේ බුද්ධියට කරනු ලබන අන්තිම නින්දිත අවමනකි!

තම මූලික යුතුකම හා සැබෑ මහජන වගකීම අතහැර, වස් කවි මත යැපෙමින් විපක්ෂය හැසිරෙන මේ බංකොලොත් ක්‍රියාව, ඔවුන් රජයට පතන විනාශයටත් වඩා වැඩි විනාශයක් (දේශපාලනික වශයෙන්) විපක්ෂයටම ළඟා කර දීමට හේතුවක් වනු නොඅනුමානය!

අදෘශ්‍යමාන යක්ෂ රජවරුන් ඇවිත් මේ රටේ පනත් අහෝසි කරන්නේ හෝ ජනතාවට සහන දෙන්නේ නැත. වස් කවි සහ මිථ්‍යාවන් මවමින් ජනතාව ගොනාට ඇන්දවීමේ මේ දේශපාලන සෙල්ලම රටේ ජනතාවට සිදු කරනා දැඩි අවමනක් වන බැවින් වහාම නැවැත්විය යුතුය.

පාලක-විපක්ෂ දෙපාර්ශවයේම දෘෂ්ටි මායාවලට අසු නොවී, විද්‍යාත්මක චින්තනයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග හරහා සැබෑ අයිතිවාසිකම් දිනා ගැනීමට බුද්ධිමත් ජනතාව පෙරට ආ යුතු හෝරාව එළඹ ඇත !

Be the first to comment

Leave a Reply