
අතීතයේ ශ්‍රී ලංකාවට රුමේනියාවෙන් නොමිලේ දුම්රිය එන්ජින් කිහිපයක් ලැබුණ ද, පසුව එම එන්ජින්වලට අවශ්‍ය අමතර කොටස් සඳහා වැය කිරීමට සිදුවූ මුදල අලුතින් දුම්රියක් මිලදී ගැනීමට වඩා වැඩි වූ බවට අප රටේ ප්‍රසිද්ධ යාං හෑලි කතාවක් තිබේ. අද වන විට රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය ද මීට නොදෙවැනි බව පෙනී යයි.
ඉන්දියාවේ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා රුපියල් කෝටි 1050 ක මුදලක් ප්‍රදානයක් ලෙස ලබා දී ඇත. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ ප්‍රධාන පද්ධති ඒකාබද්ධ කරන්නා ලෙස කටයුතු කිරීමට තාක්ෂණික සුදුසුකම් ලබා ඇති ඉන්දීය සමාගම් පහක් විසින් ඉදිරිපත් කර ඇති අවම ලංසුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 2460 ක් දක්වා ඉහළ අගයක් ගනී.
මෙම මිල ගණන් ඉන්දීය රජය ලබා දී ඇති ප්‍රදාන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, ඉදිරිපත් වී ඇති මිල ගණන් අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ බවයි.
“අතීතයේ රුමේනියාවෙන් ලැබුණු දුම්රියවල අමතර කොටස් මිලදී ගැනීමේදී මුහුණ දුන් අත්දැකීම වැනි තත්ත්වයක් වත්මන් ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේදී ද නිර්මාණය වී ඇත. ප්‍රදානයක් ලෙස ලැබෙන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි වියදමක් දරා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී පවතින ආර්ථික තාර්කිකත්වය පිළිබඳව බලධාරීන් මේ මොහොතේ දැඩි අවධානයක් යොමු කළ යුතුය.”
මේ අතර, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති උපදේශක හාන්ස් විජයසූරිය මහතා පෙන්වා දෙන්නේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව මෙවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමට ප්‍රතිපාදන පවතින බවයි. ලංසුකරුවන් ඉදිරිපත් කරන මිල ගණන් ප්‍රදාන මුදල ඉක්මවා යන්නේ නම්, ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට අවස්ථාව ඇති බව ඒ මහතා සඳහන් කරයි.
මෙම ගැටලුවට විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට ඉන්දීය පාර්ශවය සමඟ විශේෂ සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර, තාක්ෂණික සහ වාණිජමය කරුණු සලකා බලා රටට වඩාත්ම වාසිදායක තීරණයක් ගැනීමට රජය බලාපොරොත්තු වේ.

Be the first to comment