වේලි වේලි ඉඳලා හම්බ කරපු ඉඩමටත් කෙලින මහා පරිමාණ හොර තක්කඩියෝ මෙන්න ! – කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියත් කොටු වෙයි! ( වීඩියෝ )

“තමන්ගේම කියලා පර්චස් දහයක් ගන්න ලේ කඳුළු හලන අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් කප්පම් කල්ලිවලට ලියලා දීපු රාජ්‍ය නිලධාරීන් ඉන්න රටක, සාමාන්‍ය ජනතාවට තවත් ආරක්ෂාවක් තියෙනවාද? මේ දේපළ කොල්ලයට තිත තැබිය යුතුමයි!”

ඇඟ කිලිපොලා යන මහා පරිමාණ ඉඩම් කොල්ලයක සුලමුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. වගකීමක් ඇතුව රජයේ පුටුවල වාඩි වී සිටින ඉහළම නිලධාරීන් එකතු වෙලා, අහිංසක මිනිස්සුන්ගේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු හදලා, සංවිධානාත්මක අපරාධ කල්ලිවලට පාවා දීමේ මහා ජාවාරමක් තමයි මෙලෙස හෙළි වෙලා තියෙන්නේ. වඩාත්ම කනගාටුදායක සහ පුදුම සහගත කරුණ වෙන්නේ, මේ සාහසික ක්‍රියාවලියේ ප්‍රධාන සැකකාරිය වෙන කවුරුත් නොවෙයි, කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරියම වීමයි! ඇයව මේ වන විට CID එකෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොහොමද මේ කොල්ලය සිද්ධ වුණේ?

ලංකාවේ දැනට වසා දමා ඇති, නැතහොත් හිස්ව පවතින ඉඩම් සහ නිවාස, විශේෂයෙන්ම අයිතිකරුවන් විදේශගත වී ඇති දේපළ ඉලක්ක කරගෙන තමයි මේ ජාවාරම සිද්ධ වෙන්නේ.

  • ඔප්පු හොරකම: කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය ලෙස කටයුතු කළ සැකකාරිය, කාර්යාලයේ රහසිගතව ලේඛනගත කර ඇති සැබෑ ඔප්පුවල අනුපිටපත් සහ ලියකියවිලි බාහිර පුද්ගලයන්ට ලබා දී තිබෙනවා.

  • ව්‍යාජ මුද්‍රා සහ අත්සන්: ඉන්පසු කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිල මුද්‍රා සහ අත්සන් ව්‍යාජ ලෙස සකස් කරමින්, නීත්‍යානුකූල අයිතිකරුවන්ගේ ලේඛන වෙනස් කර නව ව්‍යාජ ඔප්පු නිර්මාණය කර තිබෙනවා.

  • විකිණීම සහ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම: මේ හොර ඔප්පු පාවිච්චි කරලා, සංවිධානාත්මක අපරාධ කල්ලි ලවා ඉඩම් වෙනත් අයට විකුණනවා. නැත්නම් ඒ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා.

ඉඩම ඉල්ලන්න ගියොත් කප්පම්!

මේ ජාවාරමේ තවත් භයානක පැත්තක් තියෙනවා. ඉඩමේ සැබෑ අයිතිකරුවන් තමන්ගේ දේපළ බලන්න එනකොට, මේ අපරාධ කල්ලි ඔවුන්ව මරණ බිය ගන්වා තර්ජනය කරනවා. තමන්ගේම ඉඩමෙන් මේ හොරුන්ව අයින් කරන්න නම්, අයිතිකරුවන්ට සිදු වෙන්නේ රුපියල් ලක්ෂ, කෝටි ගණනින් මේ මැරයන්ට කප්පම් මුදල් ගෙවන්නයි!

ලැබෙන ආරංචි මාර්ග අනුව, මේ ජාවාරම පිටුපස ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය විතරක් නෙවෙයි, සමාජයේ වැදගත් යැයි සම්මත නීතිඥවරුන් කිහිපදෙනෙකු සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුත් ඉන්නවා. නීතිය දන්නා මිනිස්සුම නීතිය කන හැටි හිතාගන්නවත් බෑ.

උසාවියෙන් ලැබුණු තීන්දුව

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කේ.කේ. රුවනි නාලිකා නමැති මෙම ප්‍රධාන සැකකාරිය (හිටපු කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය) මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය හරහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී ඇයව රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කෙරුණු අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ඇයට විදේශගත වීම තහනම් කර තිබෙනවා.

ඇයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ) සහ 158 වගන්ති මෙන්ම, ඉතා බරපතල ගණයේ වැරදිවලට අදාළ වන පොදු දේපළ පනත යටතේ ද නඩු පවරා තිබෙනවා.

ලංකාවේ වටිනා ඉඩම් තියෙන, විදේශගත වෙලා ඉන්න හැමෝම තමන්ගේ දේපළ ලේඛන ගැන මීට වඩා සෙවිල්ලෙන් ඉන්න කාලය හරි. නැත්නම් වෙන්නේ තමන් හම්බ කරපු දේපළ, රජයේ හොරුන්ගේ පිහිටෙන් එක රැයකින් අනුන්ගේ වෙන එකයි!

Be the first to comment

Leave a Reply