
පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකදී ගොවි ජනතාව මුහුණ දෙන දැවෙන ගැටලු සහ වී මිල පිළිබඳව අදහස් දැක්වීමට රජය තමන්ට ඉඩ නොදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කරයි. මෙය විපක්ෂයේ හඬ මුළුමනින්ම යටපත් කර නිහඬ කිරීම සඳහා රජය විසින් සැලසුම් සහගතව ගනු ලැබූ පියවරක් බව ඔහු පෙන්වා දෙයි.
එදින වී මිලදී ගැනීම් සහ රටේ සහල් අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කිරීමට පරිසරය, ස්වභාවික සම්පත්, කෘෂිකර්මය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීමට නියමිතව තිබුණි. විපක්ෂ නායකවරයා ලෙස තමන්ට නිරීක්ෂකයකු වශයෙන් එම කාරක සභාවට සහභාගී වීමට පූර්ණ අයිතියක් තිබුණද, එහිදී තමන්ට අදහස් දැක්වීමට ඉඩ නොදෙන ලෙස රජය විසින් කාරක සභා සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාට දැනුම් දී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.
රජයේ මෙම මර්දනකාරී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසීය:
“පාර්ලිමේන්තු නීති රීති දාලා ගොවියන්ගේ ප්‍රශ්න යටගහන්නත්, විපක්ෂයේ කට වහන්නත් රජයට කවදාවත් බැහැ!”
මීට පෙර 2023 ජුනි මාසයේදී පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමට ද තමන් සහභාගී වීම එවකට පැවති රජය විසින් වළක්වා තිබූ බව සිහිපත් කළ ප්‍රේමදාස මහතා, වත්මන් පාලනයද අනුගමනය කරමින් සිටින්නේ පැරණි මර්දනකාරී ක්රමවේදයම බවට චෝදනා කළේය. මහජනතාව සහ ගොවියන් වෙනුවෙන් හඬ නැගීමට තමන්ට ඇති අයිතිය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අවභාවිත කරමින් රජය විසින් පැහැර ගනිමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම වී මිල පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විපක්ෂය ගොවි සංවිධාන හමුවී මෙම ගැටලුව පාර්ලිමේන්තුව තුළ මතු කරන තෙක් රජය විසින් වී සඳහා සහතික මිලක් ගැසට් කිරීමට පවා කටයුතු කර නොතිබූ බවයි.
එමෙන්ම, වී කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 137ක පිරිවැයක් යන බව කෘෂිකර්ම අමාත්‍යවරයාම පිළිගෙන තිබියදී, රජය විසින් නිකුත් කළ නව චක්‍රලේඛය මඟින් ඊට වඩා බෙහෙවින් අඩු සහතික මිලක් ප්‍රකාශයට පත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 130කටත්, කීරි සම්බා රුපියල් 140කටත් මිලදී ගැනීමට නියම කර ඇති අතර, ඒ සඳහාද උපරිම තෙතමනය 14%ක් විය යුතු බවට දැඩි කොන්දේසි පනවා ඇතැයි ඔහු පැවසීය.
නිෂ්පාදන වියදම පවා පියවා ගත නොහැකි මෙම අසාධාරණ මිල සූත්‍රය නිසා ගොවියා තවදුරටත් අසරණ වන බවත්, ගොවි ජනතාවට සාධාරණ සහතික මිලක් ලබා දෙන තෙක් විපක්ෂය ලෙස තමන් පාර්ලිමේන්තුව ඇතුළත මෙන්ම ඉන් පිටතදීත් අඛණ්ඩව සටන් වදින බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Be the first to comment