
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සහ වායුසමීකරණය කළ (AC) බස් රථ ගාස්තු කාණ්ඩ කිහිපයක් යටතේ ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (1) පස්වරුවේ ප්‍රකාශ කළේය.
කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති මෙම නව ගාස්තු සංශෝධනය එළඹෙන 6 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. කෙසේ වෙතත්, පවතින ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිදුවූ මෙම බස් ගාස්තු ඉහළ යාම සහ පවතින ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මෙරට පොදු ප්‍රවාහනය භාවිතා කරන සාමාන්‍ය මගී ජනතාව දැඩි පීඩාවකට පත්වන ලකුණු පහළ වී තිබේ.
ගාස්තු ඉහළ දමා ඇත්තේ මෙසේය:
සාමාන්‍ය සේවා බස් රථ:
කිලෝමීටර 100කට අඩු (කෙටි ගමන්) – 12%කින් ඉහළට
කිලෝමීටර 100කට වැඩි (දුර ගමන්) – 20%කින් ඉහළට
වායුසමීකරණය කළ (AC) බස් රථ:
කිලෝමීටර 100කට අඩු (කෙටි ගමන්) – 12%කින් ඉහළට
කිලෝමීටර 100කට වැඩි (දුර ගමන්) – 15%කින් ඉහළට
අවම ගාස්තුව රුපියල් 34ක්: මගියාට “ඉතිරි සල්ලි” අහිමි වන ලකුණු!
මෙම සංශෝධනයේදී මෙතෙක් රුපියල් 30ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ දමා ඇත. මෙම රුපියල් 34 සීමාව නිසා මගී ජනතාව අලුත්ම අර්බුදයකට මුහුණ දීමට නියමිතය.
මගී පීඩාව: සාමාන්‍යයෙන් රුපියල් 35ක් දුන් විට ඉතිරි රුපියල කිසිදු දිනක බස් රථ කොන්දොස්තරවරුන්ගෙන් මගියාට නොලැබෙන බව නොරහසකි. ඇතැම් විට රුපියල් 40ක් හෝ 50ක් දුන් විට පවා ඉතිරි රුපියල් 5 හෝ 10 නොලැබෙන තරමටම මෙම රුපියල් 34 සීමාව මගියා සූරාකෑමට ලක්වන තත්ත්වයක් නිර්මාණය කරනු ඇත.
දෛනිකව බස් රථවලින් ගමන් කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මේ හරහා වක්‍රව විශාල මුදලක් අහිමි වන අතර, එය ඔවුන්ගේ දෛනික පවුල් අයවැයට දැඩි බරක් වනු නිසැකය. විශේෂයෙන්ම කෙටි දුරක් ගමන් කරන සාමාන්‍ය වැසියාට මෙම “ඉතිරි මුදල් නොලැබීමේ” ප්රශ්නය දැඩි මානසික හා ආර්ථික පීඩනයක් ගෙන දෙන්නකි.
බස් සංගම් සමඟ සාකච්ඡා
මෙම බස් ගාස්තු සංශෝධනය පිළිබඳව බස් සංගම් නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ද අද (1) පස්වරුවේ පැවැත්වුණු අතර, මගී ජනතාව පවසන්නේ ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව බස් රථවල ගුණාත්මකභාවය සහ මගී සුබසාධනය ඉහළ නැංවීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

Be the first to comment