
ගෝලීය තාක්ෂණික දැවැන්තයන් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම්වලට එරෙහිව පවරා තිබූ ඓතිහාසික නීතිමය සටනක් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකානු නීතිඥ මාර්ක් ලැනියර් (Mark Lanier) සමත්ව තිබේ. ලොස් ඇන්ජලීස් අධිකරණයක පැවැති මෙම නඩු විභාගයේදී ජූරි සභාව තීරණය කළේ, කුඩා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානි සිදු කරමින්, ඔවුන් මෙම යෙදුම්වලට ඇබ්බැහි කරවීම සඳහා මෙම සමාගම් හිතාමතාම සහ ද්වේෂසහගත ලෙස තම නිෂ්පාදන සැලසුම් කර ඇති බවයි.
‘කේජීඑම් එදිරිව මෙටා සහ අනෙකුත් අය’ (KGM v Meta et al) ලෙස නම් කර තිබූ මෙම නඩුවේ පැමිණිලිකාරිය වූයේ 20 හැවිරිදි කේලි (Kaley) නමැති තරුණියකි. ඇය වයස අවුරුදු හයේ සිට යූටියුබ් (YouTube) සහ නවයේ සිට ඉන්ස්ටග්‍රෑම් (Instagram) යෙදුම්වලට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් විකෘති ශරීර ප්‍රතිරූපය පිළිබඳ මානසික ව්‍යාකූලතාව (body dysmorphia), දැඩි කාංසාව සහ විශාදය වැනි බරපතළ මානසික රෝගවලට ගොදුරු වී තිබුණි.
උසාවි තීන්දුවට අනුව කේලිට ඩොලර් මිලියන 6ක (රුපියල් කෝටි 180කට අධික) වන්දියක් ප්රදානය කෙරුණු අතර, ඉන් සියයට 70ක් මෙටා සමාගම ද ඉතිරි සියයට 30 ගූගල් සමාගම ද ගෙවිය යුතුය. නඩු විභාගයේදී හෙළි වූ සමාගම්වල අභ්‍යන්තර ලේඛනවලට අනුව, ඔවුන් සූදු පිටිවල භාවිත කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම (casino science) සහ ආරක්ෂක පියවරයන් සඟවන ‘කූට උපක්‍රම’ (dark patterns) සිය යෙදුම් තුළ භාවිත කර ඇති බව ඔප්පු විය.
මෙම නඩු විභාගය සඳහා නීතිඥ ලැනියර් ද ගූගල්හි ‘ජෙමිනි’ සහ ‘චැට්ජීපීටී’ වැනි AI මාදිලි එකතු කර සකස් කරන ලද විශේෂිත කෘතිම බුද්ධි පද්ධතියක් (BoodleBox) භාවිත කරමින් ජූරි සභිකයන්ගේ මානසිකත්වය පුරෝකථනය කිරීමට පියවර ගෙන තිබුණි. නඩුව ජයග්‍රහණය කිරීමෙන් පසු අදහස් දැක්වූ ප්‍රකට නීතිඥ මාර්ක් ලැනියර් ප්‍රකාශ කළේ මෙවැන්නකි:
“මාර්ක් සකර්බර්ග් සතු අතිමහත් බලය ඔහු පහසුවෙන් අත්නොහරිනු ඇති බැවින්, මෙම ඩිජිටල් ක්ෂේත්රයේ සටන මගේ ජීවිත කාලය පුරාම මෙන්ම මින් ඉදිරියටත් පවතිනු ඇත. කෙසේ වෙතත්, මුදලට වඩා මෙම සමාගම් ඉදිරියේදී සිය ක්‍රියාකලාපය යහපත් අතට වෙනස් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”
මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව ළමා මානසික සෞඛ්‍යයට හානි කිරීම සම්බන්ධයෙන් නඩු 2,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට ලොව පුරා ගොනු කර ඇති අතර, තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් මෙයින් සනිටුහන් වනු ඇතැයි විචාරකයෝ පවසති.

Be the first to comment