“පළාත් සභා තිබුණා නම් ඩෙංගු මෙතරම් දුර යන්නේ නැහැ” – රජයට සජිත්ගෙන් චෝදනා

රජයේ ඩෙංගු මර්දන වැඩසටහන ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවන බවත්, පළාත් සභා ක්‍රියාත්මකව පැවතියේ නම් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම වඩාත් සාර්ථකව සිදු කළ හැකිව තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් සංවිධානය කරන ලද විරෝධතා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමිනි.

ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය මීට පෙර අනතුරු ඇඟවීම් සිදුකර තිබූ බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, බ්‍රෙටෝ දර්ශකය (Breteau Index) අවදානම් මට්ටමට ළඟා වූ අවස්ථාවේදී ද අදාළ බලධාරීන් දැනුවත් කළද, ඊට ප්‍රමාණවත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඩෙංගු තත්ත්වය උග්‍ර වී ඇති බව පැවසීය.

මෙම අවස්ථාවේ සෞඛ්‍ය අංශ වෙත චෝදනා එල්ල කිරීම වෙනුවට, ඩෙංගු ව්‍යාප්තිය වැඩි ප්‍රදේශවල පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම කඩුවෙල ප්‍රදේශයේ පිරිසිදුකම හා ඩෙංගු පාලනය සම්බන්ධයෙන් ද ඔහු විවේචනාත්මක අදහස් පළ කළේය.

පළාත් පාලන ආයතන රැසක් අක්‍රිය තත්ත්වයට පත්ව ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, පළාත් සභා පවත්වාගෙන ගියේ නම් ඩෙංගු මර්දන කටයුතු වඩා කාර්යක්ෂම ලෙස මෙහෙයවීමට හැකියාව තිබූ බවත්, රජය පළාත් සභා මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින බවත් චෝදනා කළේය.

එමෙන්ම වත්මන් රජය කාර්යක්ෂම නොවන පාලනයක් ගෙන යන බවත්, ජනතා හා සේවක අයිතිවාසිකම් සීමා කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය. වෘත්තීය සමිති මර්දනයට එරෙහිව ජනතාව සමඟ එක්ව ක්‍රියා කරන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Be the first to comment

Leave a Reply