
මොරටුව විශ්වවිද්‍යාලය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝග තත්ත්වය හේතුවෙන් ලබන 21 වනදා දක්වා එහි සියලුම ශාස්ත්‍රීය හා දේශන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සහ විශ්වවිද්‍යාල පරිශ්‍රය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
ඊයේ පැවැති මොරටුව මහනගර සභා රැස්වීමේදී ද මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, විශ්ව විද්‍යාලීය ආරංචි මාර්ග පෙන්වා දුන්නේ පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලයේ සිසුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 50 කට අධික පිරිසක් ඩෙංගු රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවයි. මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සහ සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම හදිසි තීරණය ගත් බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.
විශ්වවිද්‍යාලය වසා තබන මෙම කාලසීමාව තුළ, මොරටුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ පූර්ණ මැදිහත්වීම මත සමස්ත විශ්වවිද්‍යාල පරිශ්‍රයම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සහ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ද කියැවේ. එහිදී මදුරුවන් බෝවන ස්ථාන කඩිනමින් විනාශ කිරීම සහ පරිශ්‍රය පුරා දුම් ගැසීමේ (fogging) කටයුතු සිදු කිරීමට නියමිතය.
කෙසේ වුවද, සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට සිදුවන බාධාව අවම කිරීම සඳහා මෙම වසා තැබීමේ කාලසීමාව තුළ දේශන කටයුතු සබැඳි තාක්ෂණය (Online) ඔස්සේ අඛණ්ඩව පවත්වාගෙන යාමට පාලනාධිකාරිය කටයුතු යොදා ඇත. නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට වහාම ඉන් ඉවත්ව තම නිවෙස් බලා යන ලෙසද දැනුම් දී තිබේ. සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරන බවත්, තත්ත්වය පාලනය කිරීමෙන් පසු ලබන 22 වනදා සිට විශ්වවිද්‍යාලය සාමාන්‍ය පරිදි නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් උපකුලපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Be the first to comment