ප්‍රදර්ශන කාමයෙන් ස්ථිරසාර ලේඛනගතකරණයට: මොරටුවේ සාම්ප්‍රදායික උරුමය සුරැකීමේ වගකීම සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීම කෙසේ ආරම්භ විය යුතුද යත් ?

“මොරටුව” යනු ලාංකීය සංස්කෘතික සිතියම තුළ සුවිශේෂීම සලකුණකි. හෙළ මහා ගාන්ධර්ව, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් උපන් කොරළවැල්ලේ පින්බිමේ සිට, මෙරට සමස්ත කලාවම පෝෂණය කළ දැවැන්තයන් රැසකගේ තොටිල්ල වූයේ මොරටුවයි. එහෙත් අද වන විට පවතින ලොකුම ඛේදවාචකය නම් මෙම අතීත ප්‍රවීණයන්ගේ තොරතුරු මෙන්ම, වත්මන් පරපුරේ නිර්මාණකරුවන් පිළිබඳ විස්තර ක්‍රමවත්ව සොයා ගැනීමට කිසිදු ඉඩක් හෝ ලේඛනයක් නොමැති වීමයි. තොරතුරු වැසී යාම නිසා වත්මන් තාරුණ්‍යය තුළ මේ පිළිබඳව පවතින උනන්දුව ක්‍රමයෙන් ගිලිහී යමින් පවතී.

සංදර්ශන න්‍යායෙන් මිදී ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම

ඕනෑම ප්‍රදේශයක කලා උරුමය රැක ගැනීමට “ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල” පිහිටුවා ඇත. මොරටුවේද එවැනි බල මණ්ඩලයක් පවතී. නමුත් පොදු ගැටලුව වන්නේ, මෙම බල මණ්ඩල බොහොමයක් වසරකට වරක් පවත්වන උත්සව හෝ “සංදර්ශන සහ ප්‍රදර්ශන” වලට පමණක් සීමා වී සිටීමයි. වේදිකාවක් හදා, කතා පවත්වා උත්සවය අවසන් වූ පසු සියල්ල අමතක කර දැමීමේ මෙම ක්‍රමය තුළින් අනාගත පරපුරට ඉතිරි වන සෙතක් නැත.

මෙහිදී වඩාත්ම වැදගත් කරුණ වන්නේ ව්‍යවස්ථාවෙන් පත්කොට සිටින සංස්කෘතික බල මණ්ඩලයේ විධායක සභාපතිවරයා වන්නේ මොරටුව ප්‍රාදේශීය ලේකම්වරයා වීමයි. එබැවින්, රාජ්‍ය නිලධාරියෙකු ලෙස මෙම උරුමය ක්‍රමවත්ව ලේඛනගත කිරීමේ නිල සහ සෘජු වගකීම ප්‍රාදේශීය ලේකම්වරයා සතු වේ. මොරටුව සංස්කෘතික බල මණ්ඩලය මින් ඉදිරියට හුදෙක් සංදර්ශන පවත්වන ආයතනයක් නොවන, සැබෑ සංස්කෘතික මෙහෙවරක් ඉටුකරන ආයතනයක් බවට පත්කිරීමේ මූලිකත්වය මෙම විධායක සභාපතිවරයා විසින් ගත යුතුව ඇත.

සියලු කලාවන් නියෝජනය වන “පෙර සහ අද” ද්විත්ව නාමාවලිය

එහි ආරම්වය ලෙස විධායක සභාපති ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන්, මොරටුවේ අනන්‍යතාවය 100%ක් තහවුරු වූ කලාකරුවන් පමණක් ඇතුළත් කරමින් “පෙර සහ අද” යන තේමාව යටතේ සවිස්තරාත්මක ලේඛනයක් (Directory) සකස් කළ යුතුය. එය හුදෙක් සංගීතයට පමණක් නොව, පහත දැක්වෙන සියලුම කුදු මහත් කලා ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සැකසිය යුතුය:

1. නාඩගම් යුගයේ සිට වේදිකා නාට්‍ය සහ සිනමාව

මොරටුව යනු ලංකාවේ පැරණි නාඩගම් කලාවට අතිශය ප්‍රසිද්ධ වූ නගරයකි. කියැවෙන පරිදි පිලිප්පු සිංඤෝ වැනි නාඩගම් යුගයේ නියමුවන්ගේ සිට,  ඉන් පසු බිහිවූ වේදිකා නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන ලක්ෂ්මන් මෙන්ඩිස්, සරත් කොතලාවල වැනි ප්‍රවීණයන්ගේ නාට්‍යමය දායකත්වය මෙහිදී නිවැරදිව ලේඛනගත විය යුතුය. මෙම ලිපිය ලිවීමේදී පවා දෙගිඩියාවකට පත් වන්නට මෙ ලියුම්කරුට සිදු වන්නේද මෙවැනි කිසිදු ස්ථීර ලේඛනයක් මේ දක්වා සකස්ව නැති නිසාමය .

2. හෙළ සාහිත්‍යධරයන් සහ ගත්කතුවරුන්

මොරටුවෙන් බිහිවූ ප්‍රඥාවන්ත ලේඛකයන්, කවියන් සහ සාහිත්‍යවේදීන් රැසකි. හෙළ සාහිත්‍යය පෝෂණය කළ ඒ ශ්‍රේෂ්ඨ ගත්කතුවරුන්ගේ නාමලේඛනයක් සහ ඔවුන්ගේ කෘති පිළිබඳ විස්තර ද මීට ඇතුළත් විය යුතුය.

3. සාම්ප්‍රදායික ලී කැටයම් ශිල්පීන් සහ සිතුවම්/කාටූන් කලාව

මොරටුවේ වඩු කර්මාන්තය හා බැඳී පවතින අතිවිශිෂ්ඨ ලී කැටයම් කලාව (Wood Carving) හුදෙක් රැකියාවක් නොව උසස් සෞන්දර්යාත්මක කලාවකි. එම පාරම්පරික ලී කැටයම් ශිල්පීන්, චිත්‍ර ශිල්පීන් මෙන්ම පුවත්පත් කලාවේ සලකුණු සේම ගිවන්ත අර්ථසාද් වැනි කලා කරුවන් තාක්ශණය නොදියුණු අවදියේ අත තැබූ කාටූන් චිත්‍රපට කලාවද අමතක කල යුතු නැත එවැනි සියලු කලා ශිල්පීන්ගේ තොරතුරුද මීට අනිවාර්යයෙන්ම එක්විය යුතුය.

4. ජීවත්ව සිටින කලාකරුවන්ගේ තොරතුරු සහ ලිපිනයන්

මෙම වැඩපිළිවෙළේ වඩාත්ම ප්‍රායෝගික පියවර විය යුත්තේ, දැනට ජීවත්ව සිටින පැරණි මෙන්ම වත්මන් නව පරපුරේ සියලුම කලාකරුවන්ගේ වත්මන් ලිපිනයන්, දුරකථන අංක සහ සම්බන්ධීකරණ තොරතුරු ඇතුළත් යාවත්කාලීන නාමාවලියක් පවත්වාගෙන යාමයි. එමඟින් ඕනෑම පර්යේෂකයෙකුට හෝ උනන්දුවක් දක්වන අයෙකුට ඔවුන්ව සෘජුවම සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ලැබේ.

සුබවාදී බලාපොරොත්තුවක්

පසුගිය කාල වකවානුවල පැවති අඩුපාඩු මඟහරිමින්, මොරටුව සංස්කෘතික බල මණ්ඩලය දැන් මේ සඳහා යම් සාධනීය පියවරක් ගනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල විධායක නායකත්වයත්, එසේම එහි සංස්කෘතික නිලධාරිණියගේත් නව නිලදාරී මණ්ඩලයේත් ප්‍රදේශයේ කලාකරුවන්ගේ සහයෝගයත් ගෙන මුලින්ම ප්‍රදර්ශණ හා සංදර්ශණ සේම මෙසේ හැමට ප්‍රයෝජනවත් වන මෙැවනි කාරියකින් පය පෙරට තැබීීම සුදුසු වනු ඇත ,

මොරටුවේ කලා අනන්‍යතාවය හුදෙක් මතකයන්ට පමණක් සීමා නොවී අනාගත පරපුරේ අධ්‍යයනය උදෙසා සුරැකෙනු නොඅනුමානය. සංස්කෘතික බල මණ්ඩලය වහාම මෙම ඓතිහාසික කාර්යභාරය සඳහා පෙරමුණ ගනු ඇතැයි අප මෙසේ දැඩි විශ්වාසය පල කරන්නෙමු !

Be the first to comment

Leave a Reply