33 වසරකට පෙර තාරාවත්තේ සිදුවූ අමානුෂික කාන්තා ඝාතනය: පුද්ගලයින් 8 දෙනෙකුට මරණ දඬුවම !

 කොළඹ, තාරාවත්ත ප්‍රදේශයේදී කාන්තාවක කපා කොටා ඝාතනය කර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සාහසික අපරාධයට වරදකරුවන් වූ පුද්ගලයන් අට දෙනෙකුට (08) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ඊයේ (ජූලි 07) මරණ දඬුවම නියම කරන ලදී.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව නිගමනය කරමින් විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව, වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන මෙම වැරදිකරුවන්, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයක සහ වේලාවක ප්‍රාණය නිරුද්ධ වන තුරු බෙල්ලෙන් එල්ලා තැබීමට අධිකරණය නියෝග කර ඇත.

වසර 33කට පෙර සිදුවූ අඳුරු මතකය

මෙම දරුණු අපරාධය සිදුව ඇත්තේ මීට වසර 33කට පෙර, එනම් 1993 සැප්තැම්බර් මස 21 වන දින හෝ ඊට ආසන්න දිනයකදීය. කොළඹ තාරාවත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස එක්වෙමින්, එච්.බී. කුසුමාවතී නමැති කාන්තාවට අතින් පයින්, පොලුවලින් සහ තියුණු ආයුධවලින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කිරීම විත්තිකරුවන්ට එරෙහි ප්‍රධාන චෝදනාව විය.

එම අවස්ථාවේදීම කදිරවේලු ලිංගමූර්ති සහ ජගත්සිරි පෙරේරා යන පුද්ගලයන් දෙදෙනාට ද තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි. අපරාධය සිදුකරන අවස්ථාවේදී මොවුන් සමඟ එක්ව සිටි වේලායුධම් උදේකුමාර් නමැත්තා මේ වන විට මියගොස් ඇත.

මරණ දඬුවම නියම වූ විත්තිකරුවන්

මෙසේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් වන්නේ:

  1. පී.ඒ.කේ. නිශාන්ත කුමාර

  2. ඊෂාඩ් මෝසස්

  3. රෝහන් ජනක සම්පත් සාගර

  4. අනිල් ඉන්ද්‍රජිත්

  5. කනගරාජා ටිරෝන්

  6. සෝමරත්න සිල්වා

  7. හික්කඩුව ලියනගේ නිහාල්

  8. කේ.ඩබ්. අජිත් කුලතුංග

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී මෙහි 8 වන විත්තිකරු වන කේ.ඩබ්. අජිත් කුලතුංග හැර සෙසු විත්තිකරුවන් හත් දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Be the first to comment

Leave a Reply