
ප්‍රකට ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා සහ එහි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් සහය නොදක්වන බව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඊයේ (ජූලි 07) විවෘත අධිකරණයේදී දැඩිව ප්‍රකාශ කළාය.
අධිකරණය මඟින් විශේෂ නිරීක්ෂණයක් ලෙස සටහන් කර තබමින් විනිසුරුවරිය මෙසේ පැවසුවාය:
“මෙම නඩු විභාගය සඳහා හෝ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රියාදාමය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහය දැක්වීමක් කරන්නේ නැහැ. අධිකරණය ඒ බව නිරීක්ෂණය කරන අතරම එය විශේෂ සටහනක් ලෙස ලේඛනගත කරනවා.”
නාමල් අධිකරණයට එයි – CID නිලධාරීන් මඟහරියි
මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. කෙසේ වෙතත්, නඩුවේ ප්‍රධාන විමර්ශන අංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කිසිදු නිලධාරියෙකු අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයකි.
ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමට අලුත් පියවරක්
මෙහිදී රජයේ නීතිඥවරිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඇතුළු විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීම සඳහා චෝදනාවල සංක්ෂිප්ත පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි. එමෙන්ම, අදාළ ඉන්දීය සාක්ෂිකරුවන් පදිංචිව සිටින ලිපිනවලට අමතරව CIDය විසින් සොයාගත් තවත් ලිපින දෙකක් ඇතුළත් වාර්තාවක් ද ඇය අධිකරණයට භාර දුන්නාය.
ඒ අනුව ක්‍රියාත්මක වූ මහාධිකරණ විනිසුරුවරිය, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 ප්‍රකාරව කටයුතු කරමින්:
අධිකරණ අමාත්‍යංශයේ ලේකම් හරහා,
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මාර්ගයෙන් අදාළ සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළාය.
මෙම සිතාසි නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වන දා කැඳවීමට අධිකරණය තීරණය කළේය.

Be the first to comment