ආත්මා කොටු කරන කුමන්ත්‍රණයෙන් ආත්මය පාවා නොදෙනු ! ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න රැකගනිමු !

නීතිය අකුරටම ඉටු කරමින්, වංචාවට හා දූෂණයට එරෙහිව කෙළින් සිටගත් රාජ්‍ය නිලධාරිනියක වූ ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය දඩයම් කිරීමේ සූක්ෂම හා කූඨ කුමන්ත්‍රණයක් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

ඇය කළ එකම වරද දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් සතු කරගෙන තිබූ රජයේ ඉඩම් නැවත පවරා ගැනීමත්, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ මහා පරිමාණ පරිසර විනාශයන්ට සහ මූල්‍ය අක්‍රමිකතාවලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමත්ය. මෙහි ඇති විශේෂම කාරණය නම්, ඇය ඉලක්ක කරගන්නා වත්මන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, මීට පෙර උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳවද ඇය අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබීමයි.

රටම හොල්ලපු ‘දිට්වා’ ආපදා සමයේදී තමන්ගේ දරුණු අසනීප තත්ත්වය පවා නොතකා, මාස තුනකට ආසන්න කාලයක් පැය 24 පුරාම කාර්යාලය විවෘතව තබමින් ජනතාවට සහන සැලසීමට ඇය පෙරමුණ ගත්තාය. ඇයගේ සේවයේ විනිවිදභාවය කෙතරම්ද යත්, තමන්ගේම ඉල්ලීම මත ජාතික විගණන කාර්යාලය පරීක්ෂණ පවත්වන මට්ටමට ඇය කටයුතු කළාය.

නමුත් ඇයගෙන් පළිගැනීමේ චේතනාවෙන්, මූල්‍ය රෙගුලාසි සහ පරිපාලන නීති පවා උල්ලංඝනය කරමින්, නිසි ලේඛනගත කිරීමකින් තොරව කාර්යාල කාමර තුනක් සීල් තැබීමට දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත පැමිණි පිරිසක් කටයුතු කළහ. වඩාත්ම බරපතළ කාරණය නම්, එම යතුරු ආයතන ප්‍රධානියාට හෝ පොලිසියට නොදී පිටතට රැගෙන ගොස්, අවසානයේ ගේට්ටු මුරකරුවෙකුට භාරදී යාමයි.

මෙයට සමගාමීව, ඇයව “හෙරක” සහ “මානසික ලෙඩෙක්” ලෙස හංවඩු ගැසීමට සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුමක් දියත් විය. ගබඩාවල තිබූ සහන කඳවුරු සඳහා වෙන්කළ ඇඳවල්, මෙට්ට වැනි ස්ථාවර වත්කම්ද, විනාශ කිරීමට වෙන් කර තිබූ භාවිතයට නුසුදුසු හාල් පැකට් 15ක්ද පෙන්වමින් මාධ්‍ය විසින් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කළේය. නමුත් ඇත්ත තත්ත්වය නම්, දිට්වා ආපදා සහන ගෙවීම්වලදී මෙම කාර්යාලය 98% සිට 100% දක්වා වූ විස්මයජනක ප්‍රගතියක් ලබා තිබීමයි.

හොරකම් නොකරන, නීතිය රකින මෙවැනි අවංක නිලධාරීන් දේශපාලන හා පරිපාලන හස්තයන් මඟින් දඩයම් කිරීමට ඉඩ දිය නොහැක. එක් පාර්ශ්වයක බොරු දත්තවලට නොරැවටී, ආත්මා දිල්රුක්ෂි මහත්මිය වැනි රටට සම්පතක් වූ නිලධාරිනියන් රැකගැනීමට ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් වහාම මැදිහත් විය යුතුය! වසර ගණනාවක් තිස්සේ රජයේ ඉඩම් සහ වනාන්තර කොල්ලකෑමට එරෙහි වූ ආත්මාගේ ආත්ම ශක්තියට අපේ ප්‍රණාමය!

Be the first to comment

Leave a Reply