
මොරටු පුරවරය වෙලාගෙන ඇති ඩෙංගු උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් විපක්ෂය දැක්වූ දැඩි උනන්දුව හා වුවමනාව හේතුවෙන්, ඒ පිළිබඳව විපක්ෂයේ තීරණ සහ යෝජනා සාකච්ඡා කිරීමට විශේෂ හමුවක් ඉල්ලා සිටින ලදී. විපක්ෂ නායකවරයා ප්රමුඛ විපක්ෂ කණ්ඩායම කළ මෙම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දක්වමින්, ගරු නගරාධිපතිවරයා ද මහත් වුවමනාවෙන් යුතුව සියලු වගකිවයුතු නිලධාරීන් මෙන්ම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද කැඳවා ඒ සඳහා අවස්ථාව සලසා දුන්නේය.
කෙසේ වුවද, සමස්ත නගරයේම පොදු යහපත උදෙසා ගත් එම සාධනීය තීරණ ක්‍රියාත්මක කිරීමේදී මොරටුව මහා නගර සභාවේ (මොමනස) ඇතැම් නිලධාරී ප්‍රධානීන් වගකීම් විරහිතව ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි. ඔවුන්ගේ මෙම මන්දගාමී හා අත්තනෝමතික පිළිවෙත හේතුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව ගත් තීරණ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම නිසා මෙදා මොරටුවේ ඩෙංගු මර්ධන වැඩපිළිවෙළට මහත් බාධා පැමිණ තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව ආසන සංවිධායක සහ මොරටුව මහ නගර සභා මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා ‘පුරෝගාමියා’ වෙත කරුණු පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය:
“ඩෙංගු කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි, මිනිස් ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මේ උවදුර පරදවන්න නම් පක්ෂ-විපක්ෂ භේදයකින් තොරව හැමෝගෙම දායකත්වය අත්‍යවශ්‍යයි. හැබැයි අවාසනාවකට, ජනතා නියෝජිතයන් විදිහට අපි එකතුවෙලා ගත්තු තීරණ ක්‍රියාත්මක කරන්න නගර සභාවේ ඇතැම් නිලධාරීන් උනන්දු වෙන්නේ නැහැ. ඔවුන්ගේ මේ වගකීම් විරහිතකම නිසා අද විපක්ෂයේ හඬ නොතකා හරින තත්ත්වයට පත්වෙලා. මේකට අපි නගරාධිපතිවරයාට හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට විතරක් දොස් කියන්නේ නැහැ. හැබැයි නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය නිසා සමස්ත මොරටු වැසියන්ම අද අනතුරේ වැටිලා තියෙනවා.”
මෙය විපක්ෂයේ වුවමනාවක් නොමැතිකම නිසා සිදුවූවක් නොව, සියල්ලන්ගේ එකඟතාවයෙන් ආදර්ශමත් වැඩපිළිවෙළක් ඇරඹීමට ගිය අවස්ථාවක නිලධාරීවාදය හරස් වීම නිසා ඇතිවූ තත්ත්වයක් බව සුජිත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් මෙහි පැවසූ කරුණු තුලින් අවධාරණය කළේය.

Be the first to comment