පීඩිතත්වයේ පතුලට ඇද වැටුණු මධ්‍යම පන්තිය සහ සමාජ ජාලාවල ‘මාලිමා’ සෝදන්නන්ගේ දේශපාලන කුහකත්වයේ අනාගත අනතුර ?

රටක ආර්ථික ස්ථාවරත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය ලෙස සැලකෙන්නේ එරටේ ජීවත් වන මධ්‍යම පාන්තික ජනතාවයි. එහෙත්, මෙරට ආර්ථික අර්බුදයේ දරුණුතම ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් කල් මධ්‍යම පාන්තිකයින් ලෙස යන්තමින් හෝ හිස ඔසවා සිටි සමාජ ස්ථරය මේ වන විට ශීඝ්‍රයෙන් තුන්වන පන්තියේ පීඩිතයින්ගේ ගොඩටම ඇද වැටෙමින් පවතින බව නොරහසකි. ලෝක බැංකුව විසින් October 2026 ශ්‍රී ලංකා සංවර්ධන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි, රටේ දිළිඳුකමේ ප්‍රතිශතය 15.8% ක ඉහළ මට්ටමක පවතින අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව උද්ධමනය ද 8.1% ක සීමාවක පවතී. මේ නිසාම එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර වේල පවා සපයා ගැනීමට නොහැකිව සාමාන්‍ය ජනතාව මුහුණ දී සිටින්නේ දරුණු ජීවන අරගලයකටය.

භාණ්ඩාගාරය උතුරා යාම සහ යථාර්ථයේ සාගින්න

“අපට ඕනෑතරම් සල්ලි තියෙනවා, භාණ්ඩාගාරය උතුරා යනවා” යැයි ජාතික ජන බලවේගයේ (මාලිමා) රජයත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් වේදිකාවල පාරම්බාන කතා, තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව ලතැවෙන තුන්වන පන්තියේ මිනිසාට දරාගත නොහැකි උපහාසයක් වී ඇත. රජයේ බදු ප්‍රතිපත්ති සහ හූරාකෑමේ ක්‍රමවේද හරහා ජනතාව තව තවත් අගාධයට ඇද දමද්දී, මාලිමා රජය සාධාරණීකරණය කිරීමට සැදී පැහැදී සිටින අන්ධ වහලුන් සහ ‘ඩෝබි’ පිරිස්වලට මේ පොළොවේ යථාර්ථය දැනෙන්නේ නැත.

ඔවුන් සියල්ලන්ම නොවූවත් බහුතරයක් කරන්නේ මේ සමාජය මුලාවේ දමමින්, මධ්‍යම පාන්තිකයාගේ අවසන් තුට්ටුවටත් තට්ටු කරන විනෝද ව්‍යාපාර හා සුඛෝපභෝගී වළලු තුළ රැඳෙමින් තමන්ගේ මඩි තර කර ගැනීමයි. මෙය අන් කිසිවක් නොව, වත්මන් පාලකයින්ගේ අනුදැනුම හා ආශීර්වාදය මත සිදුවන ජනතා සූරාකෑමේම දිගුවකි.

සමාජ මාධ්‍ය අරගලය සහ ජනතා වෛරය

සමාජ ජාලාවල මහා ‘සුද්ධෝදන’ ලීලාවෙන් පෙනී සිටිමින්, මහප්‍රාණ අකුරු වදමින් රජයේ වැරදි වසන් කරන්නට උත්සාහ කරන මොවුන්, වත්මන් රජය කිසිදා හෙල්ලිය නොහැකි බලසම්පන්න සිහිනයක පාවෙමින් සිටිති. එහෙත් සමාජ මාධ්‍ය අවකාශය දෙස අවධානයෙන් බලන ඕනෑම අයෙකුට පැහැදිලි වන කරුණක් ඇත; එනම්, වත්මන් සමාජය තුළ දැන් දැඩි වෛරයක් සහ ක්‍රෝධයක් ගොඩනැඟෙමින් පවතින්නේ රජයට වඩා, රජයේ කුණු සෝදන්නට ඉදිරිපත් වී සිටින මෙවැනි අලජ්ජී ‘අපුල්ලන්නන්’ (ඩෝබින්) පිළිබඳවය.

එදා පැවති පාලනයන්හි ‘ටොයියන්’ සහ ‘බයියන්’ වෙතින් ලැබුණු ලාභදායී දේශපාලන ප්‍රකාශවලටත් වඩා පහත් සහ බාල මට්ටමේ පිළිතුරු සැපයීම අද ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වැනි විප්ලවවාදී පක්ෂයක වහලුන්ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවේ. ඔවුන් මේ කරන නින්දිත සුදු හුනු ගෑම හරහා සිදුවන්නේ පීඩිත ජනතාව තුළ පාලකයන් කෙරෙහි ඇති වී තිබෙන වෛරය තව තවත් තීව්‍ර වීම පමණි.

ලේ වැකි විනාශයක පෙරනිමිති

දේශපාලන බලය යනු ස්ථිර දෙයක් නොවේ. මේ රජය පෙරලෙන්නේ නැතැයි යන අහංකාරයෙන් යුතුව වහල් ලෙස පිළිතුරු දෙමින් ජනතාව කුපිත කරවන මෙම පිරිස් එක දෙයක් මතක තබා ගත යුතුය. මතු යම් දිනක ජනතා පීඩනය හමුවේ මෙම රජය ද පසුබා පරාජය වී යන දිනක් පැමිණෙනු ඇත. එදිනට සමාජය තුළ කා වැදී ඇති මෙම වෛරය දේශපාලනයෙන් එහා ගිය පලිගැනීමක් දක්වා වර්ධනය වීම වැළැක්විය නොහැක.

එවන් දිනක රට තුළ ඉතිරි වන්නේ සාමය හෝ සමගිය නොව, එකිනෙකා මරාගන්නා, ලේ ගලායන බිහිසුණු විනාශයක් සහ සාගිනි කැරලි සමූහයකි. එදිනට රටෙන් වාර්තා වන අපරාධ සංඛ්‍යාව සුළුපටු නොවනු ඇති අතර, මෙම සාගිනි කැරලි දක්වා වර්ධනය වන මාලිමා පාලනයේ කටුක යථාර්ථය දෙස බලා අද නිහඬව සිටින, හෝ එය වසන් කරන කිසිදු දේශපාලනඥයෙක් එදාට මේ සාපයට වගකීමට ඉදිරිපත් වන්නේ නැත. අළු යට පවතින ගිනි පුපුරු මෙන් ඇවිලෙමින් පවතින මෙම මහජන ක්‍රෝධය, රට මහා විනාශයකට රැගෙන යාමට පෙර පාලකයින් මෙන්ම ඔවුන්ගේ වහලුන් ද වහාම පියවි සිහියට පැමිණිය යුතුය.

 

Be the first to comment

Leave a Reply