ඩිජිටල් සිහින සහ ඇනලොග් යථාර්ථය: මිලියන 2.5ක් ගිලගත් මහා භාණ්ඩාගාරයේ සයිබර් අනාරක්ෂිතභාවය

“රටම ඩිජිටල්කරණය කරන්නට මහා පරිමාණ උපදේශන සේවා ක්‍රියාත්මක වන රටක, සමස්ත රාජ්‍යයේ මුදල් පාලනය කරන මහා භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 සිට යල් පැන ගොස් තිබීම සැබවින්ම ඛේදවාචකයකි.”

වත්මන් රජය සහ එහි මූලික උපදේශකවරුන් වන හාන්ස් විජයසූරිය මහතා ඇතුළු පිරිස මෙරට රාජ්‍ය පද්ධතිය මුළුමනින්ම ඩිජිටල්කරණය (Digitalization) කිරීම සඳහා විශාල ප්‍රචාරණයක් සහ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින පසුබිමක, මෙරට රාජ්‍ය ආයතන සතු සැබෑ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් කෙතරම් දුර්වල සහ අවදානම් සහගත මට්ටමක පවතින්නේද යන්න පෙන්වන කනගාටුදායක පුවත් රැසක් පසුගියදා අනාවරණය විය.

පොදු මහජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු විශේෂිත රජයේ ආයතන රැසක නිල ඊමේල් ලිපින පවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බව “පුරෝගාමියා” විසින් අවැනි රජයේ ආයතන වෙත යොමු කළ පණිවිඩ හරහාද තහවුරු වී ඇත. ඇතැම් නිල ඊමේල් ලිපින සොයා ගැනීමට පවා නොමැති අතර, සොයාගන්නා ලිපින ද අක්‍රිය මට්ටමේ පවතී.

මහා භාණ්ඩාගාරයට වැදුණු ඩිජිටල් පොල්ල

මෙම පසුබිම වඩාත් බරපතළ වනුයේ සාමාන්‍ය රාජ්‍ය ආයතනයක මට්ටමෙන් ඔබ්බට ගොස් රටේ මහා භාණ්ඩාගාරයද සයිබර් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බව හෙළි වීමත් සමඟය. පසුගියදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) රැස්වීමේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) විසින් අතිශය කම්පන සහගත තොරතුරක් අනාවරණය කරන ලදී.

රජය විසින් විදේශීය ණය වාරිකයක් ලෙස ගෙවීමට කටයුතු කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක (රුපියල් කෝටි 75කට අධික) දැවැන්ත මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් මෙහෙයවන ලද වංචනික තුන්වන පාර්ශවයක් අතට පත්ව ඇති බව එහිදී නිගමනය කෙරිණි.

2019 සිට යල් පැන ගිය පද්ධතියක්

මෙම මහා පරිමාණ මූල්‍ය කොල්ලයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට සමස්ත මූල්‍ය පරිපාලනයේ හදවත බඳු වූ මහා භාණ්ඩාගාරයේ පවතින ඊමේල් පද්ධතිය 2019 වසරේ සිට කිසිදු යාවත්කාලීන කිරීමකින් තොරව (Outdated) යල් පැන ගොස් තිබීම බව SLCERT ආයතනය පෙන්වා දෙයි.

රජයේ මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇත. ඊමේල් පද්ධතියේ පවතින මෙම අනාරක්ෂිත භාවය හේතුවෙන් සයිබර් අපරාධකරුවන්ට භාණ්ඩාගාරයේ දත්ත සහ සන්නිවේදනයන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට මඟ පෑදී තිබේ.

නිර්දේශ සහ අනාගත අභියෝගය

මෙම සිදුවීම හුදු සාමාන්‍ය මූල්‍ය වංචාවක් නොව, රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික ස්ථාවරත්වයට එල්ල වූ සෘජු සයිබර් ප්‍රහාරයක් (Cyber Crime) ලෙස රජයේ මුදල් කාරක සභාව නිගමනය කර ඇත. මීට අදාළ විශේෂ වාර්තාවක් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමඟින් රාජ්‍ය මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක කළ යුතු නිගමන හා නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර තිබේ.

අනුර කුමාර දිසානායක මහතාගේ රජය රට ඩිජිටල්කරණය කිරීමේ උපායමාර්ගික සැලසුම් සකස් කරන අතරතුර, දැනට පවතින රාජ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිවල ඇති මෙවැනි බිහිසුණු සිදුරු වසා දැමීමට කඩිනමින් පියවර ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත්, මහජන මුදලින් ඩොලර් මිලියන ගණනින් සයිබර් හොරුන් අතට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Be the first to comment

Leave a Reply